වැලිවේරිය සම්බන්ධව පැය 24 ක්‌ තුළ ජනාධිපති පොරොන්දුවක්‌ දෙන බව දන්වයි – එජාප විරෝධතා ව්‍යාපාරය ඉන්පසු නවතී

වැලිවේරිය රතුපස්‌වල පැවැති ජනතා උද්ඝෝෂණයට වෙඩි තබා සිදු කළ ඝාතනයන් සම්බන්ධව පැය 24 ක්‌ ඇතුළත ජනාධිපතිවරයාගෙන් ලිත පිළිතුරක්‌ ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක දුන් පොරොන්දුව මත එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමගියේ බලවේගය විසින් ඊයේ (14 දා) සවස කොටුව දුම්රියපළ ඉදිරිපිට පවත්වන ලද විරෝධතා ව්‍යාපාරය අවසන් කෙරිණි.

එක්‌සත් ජාතික පක්‍ෂය, විපක්‍ෂයේ විරෝධතා සිවිල් සංවිධාන සමඟ ඒකාබද්ධව “සමගියේ බලවේගය” ජාතික ව්‍යාපාරය විසින් අදාළ විරෝධතාව ඊයේ සංවිධානය කරන ලද්දේ රතුපස්‌වලදී සිදුකෙරුණු ඝාතනවලට විරෝධය පළකිරීම සඳහාය.

මේ සඳහා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළුව විපක්‍ෂයේ විරෝධය නියෝජනය කරනු ලබන සිරිතුංග ජයසූරිය, මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න, සරත් මනමේන්ද්‍ර, එම්. සුමන්දිරන්, සිරිමසිරි හපු ආරච්චි, හේමකුමාර නානායක්‌කාර, සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්‌ද විවිධ සංවිධාන මෙන්ම ජනතාව විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.

කොළඹ කොටුව දුම්රියපළ ඉදිරියෙන් විවිධ සටන් පාඨ කියවමින් ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරය අතර තුර විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්‍ෂ නායකයන් පිරිස වේදිකාවක සිට අදහස්‌ දක්‌වන ලදී.

පසුගිය කාලය තුළ වෙඩි තබා ඝාතනය කෙරුණු කටුනායක රොෂෙන් චානක, වත්තල ඇන්තනි වර්ණකුලසූරිය සහ වැලිවේරිය රතුපස්‌වල ඝාතනය කෙරුණු තිදෙනා වෙනුවෙන්ද මෙහිදී පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.

පසුව විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට ලිපියක්‌ භාර දීමට කොටුව දුම්රියපළ සිට ලෝටස්‌ පාර ඔස්‌සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්‌වා පයින් ගමන් කළ අතර හිල්ටන් හෝටලය අසලදී පොලිසිය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් විසින් එම ගමන නවත්වන ලදී. එහිදී ඔවුන් වෙත විරෝධතා කරුවන් බිත්තර ප්‍රහාරයක්‌ද එල්ල කළහ.

ඒ අසල නවතා තිබූ පෞද්ගලික බසයක වහලය මතට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, රවි කරුණානායක, අකිල විරාඡ්, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, දයා ගමගේ සහ මුජිබර් රහුමාන් ඇතුළුÊපිරිසක්‌ නැග විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණ කරන්නට විය.

අනතුරුව භික්‍ෂූන් වහන්සේ නමක්‌ සහ කෝට්‌ටේ හිටපු එජාප උප නගරාධිපති ඇතුළු කිහිප දෙනකු විශේෂ ලිපියක්‌ රැගෙන කැරලි මර්දන සෙබළුන් අතරින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරන ලදී.

පැය භාගයකට පමණ පසුව ඔවුන් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පණිවුඩයක්‌ රැගෙන ආ අතර එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක වන සුමේධා බෙම්මුල්ල මහත්මිය විසින් ලබා දෙන ලද ඉහත ප්‍රකාශය මත විරෝධතා කරුවෝ විසිර ගියහ. (අකිත පෙරේරා)

Source: Divaina (Sri Lanka)