රටම කතා කළ බලු මඟුල

ලංකාවට අඩුවක්‌ තිබුණි නම් ඒ බලු විවාහ පමණකි. කාටවත් වචනයක්‌ කියන්නට ඉඩ නොදී ඒ අඩුපාඩුව ද ඉහළම අයුරින් පසුගිය 26 වැනි සඳුදා උදැසන මහනුවර පොලිස්‌ ක්‍රීඩා පිටියේ දී සිදු කෙරිණි. ශ්‍රී ලංකා බලු ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ මෙම බලු මංගල්‍යය ඇසූ දුටුවන්ට මුලින් හාස්‍යය, උත්ප්‍රාසය ඇති විය. පසුව ඇති වූයේ කළකිරීමකි. මේ රටේ මෙච්චර දේවල් තියෙද්දී මොන බලු විවාහ ද යන්න තැන තැන කසු කුසු නැගිණි. බොහෝ දෙනකුට හැඟුණේ මේ මංගල්‍ය සඳහා විශාල මුදලක්‌ ද වැය වන්නට ඇති බවය. එහෙත් එසේ නොවූ බවට මෙම මංගල්‍ය මෙහෙය වූ පොලිස්‌ නිල සුනඛ අංශය ප්‍රකාශ කර තිබිණි.

බැලූ බැල්මට මෙය විහිළුවකි. හරසුන් ක්‍රියාවකි. එහෙත් මෙය ශ්‍රී ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක්‌ රටේම ඉතිරි කර දෙන දැවැන්ත වැඩපිළිවෙළක මූලාරම්භයකි. ශ්‍රී ලංකා පොලිස්‌ නිල සුනඛ අංශය ආරම්භ වූයේ 1948 දීය. මේ සඳහා සුනඛයින් ගෙන් වූයේ විදේශ රටවලිනි.

ඔවුන් ද එසේ මෙසේ බල්ලන් නොවේ. සුපිරි රටවල, සැපට වැඩෙන, වංශක්‌කාර බල්ලන්ගේ නාඹර පැටවුන් ය. මේ මහා ලොකු බල්ලන්ව පොලිස්‌ නිල සුනඛ අංශයට ගෙන්වීම සඳහා වසරකට රුපියල් ලක්‍ෂ 200 කට වැඩි මුදලක්‌ වැය වේ. එපමණක්‌ නොව එම නිල සුනඛයින් මෙරටට ගෙන්වා ගැනීමේ දී ඔවුන් ව උපතේ පටන් හැසිරවූත්, කුඩා කළ පටන් ඔවුන් සමඟ සිටි භාරකරුවන් ද ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය. එම සුනඛයින් පොලිස්‌ නිල සුනඛ අංශයේ නිලධාරීන්ට කුළුපඟ වනතුරු භාරකරුවන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවේ. ඒ අයගේ කෑම් බීම් ඉඳුම් හිටුම් ඇතුළු සියලු පහසුකම් සඳහා ද රජය විශාල පිරිවැයක්‌ දැරිය යුතුය. විදේශ රටවල දේශගුණික තත්ත්වයන් යටතේ ඉපදී හැදී වැඩුණු සුනඛයන්ව ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන ආකාරයට රඳවා ගැනීම සඳහා ද විශාල පරිශ්‍රමයක්‌ දැරීමට සිදුවේ. ආහාරවල වෙනස්‌කම්, බෙහෙත්වල වෙනස්‌කම්, කාලගුණික වෙනස්‌වීම් හේතුවෙන් මෙම සුනඛයින් ශ්‍රී ලංකාවේ දී නිරතුරුව ලෙඩ රෝගවලට ගොදුරු වන අතර එයින් එම සතුන්ගේ දක්‍ෂතා අඩුවීමත් ඇතැම් විට මරණයත් සිදුවිය හැකිය. බෙහෙත්, ආහාර ආදිය සඳහා ද රටේ මුදලින් විශාල කොටසක්‌ වෙන් කෙරේ.

මෙවැනි හේතු සලකා බලමින් විදේශීය සුනඛ ජෝඩු යොදා ගනිමින් උන්ගේ පැටවුන් ශ්‍රී ලංකාවේ දී බිහි කිරීමේ ව්‍යාපෘතිය පොලිස්‌ නිල සුනඛ කොට්‌ඨාසය මගින් පසුගිය දා පවත්වනු ලැබූ බලු මංගල්‍යයත් සමඟ ආරම්භ කෙරිණි. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් ගේ පූර්ණ අනුමැතිය ඇතිව, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල ගේ අදහසකට අනුව, අංශ ප්‍රධානි පොලිස්‌ අධිකාරී සිසිර විඡේකෝන් ප්‍රමුඛ නිල සුනඛ අංශයේ සියලු දෙනාගේ සහයෝගයෙන් ඇරඹි මෙම කටයුත්තට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ උපරිම සහයෝගය ලැබිණි.

මෙම සුනඛයන් සම්බන්ධයෙන් පේරා දෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ කාර්ය භාරය ද සුළු පටු නොවේ. පොලිස්‌ නිල සුනඛ අංශයට විදේශ රටවලින් මෙම සුපිරි බල්ලන් ගෙන්වන තැන පටන් එම සතුන්ගේ මරණය සිදුවන මොහොත දක්‌වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ කථිකාචාර්යවරුන්ට කිසිදු නිවනක්‌ නැත. දවසේ පැය විසිහතර පුරා තඹ සතයක අයකිරීමක්‌වත් නොකර ඔවුන් සිදු කරන මෙහෙවර අති විශේෂය. මිනිසුන්ටත් නැති මේ සැලකිලි බල්ලන්ට ලැබීම වාසනාවකි. මෙම බල්ලන් ද එසේ මෙසේ බල්ලන් නොවෙන්නේ මේ රටේ සිදු වූ අපරාධ ගණනාවකට සම්බන්ධ වූ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා උන් ඉටුකරන මෙහෙවර කිසිදු මනුෂ්‍යයකුට ඉටුකළ නොහැකි බැවිනි. ඒ අතින් බලන කළ බල්ලා රැක ගැනීම අගනේය. වෛද්‍ය විද්‍යාත්මක පසුබිමකට අනුව නිසි අධීක්‍ෂණයක්‌ යටතේ වැඩෙන මෙම සතුන් පිළිබඳ මෙතෙක්‌ නොතිබුණු භාරදූර වගකීමක්‌ මේ වනවිට පශු වෛද්‍ය අංශයට පැවරී තිබේ. ඒ මේ රටට ගැලපෙන පරිදි නිරෝගී රට බල්ලන් බෝ කරවීමය. මෙම කාර්යයේ ප්‍රධානතම වගකීම දරනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අශෝක දංගොල්ල ය. එම අංශයේ මහාචාර්ය වින්ද්‍යා ද සිල්වා ප්‍රමුඛ සියලු දෙනා සිය උපරිම දායකත්වය මේ සඳහා ලබා දෙනු ඇත.

මෙම නිල බලු මංගල්‍යයේ දී පොලිස්‌ නිල සුනඛ අංශයේ නිල සුනඛයන් 20 දෙනකු විවාහ කෙරිණි. ලැබ්‍රඩෝ වර්ගයට අයත් බ්‍රවුන්සර් සමඟ බිලී පළමුව සිය විවාහ දිවියට ඇතුළත් විය. පසුව ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛ ජෝඩුවක්‌ වන කොන්සෝ හා ජීනා ද, රොට්‌ වයලර් වර්ගයේ ඇනොස්‌ හා ෂයිරා යුවළ ද විවාහ කෙරිණි. ඔවුන්ව මඟුල් පෝරුවක්‌ වැනි විශේෂ පීඨිකාවකට නංවා ජය මගුල් ගී ගායනා කෙරිණි. පාරම්පරිකව පැවතගෙන හෙළ සිරිත් විරිත් මංගල සිලෝ ගී බල්ලාට ගියේ ඒ අවස්‌ථාවේදී ය. සංස්‌කෘතික අමාත්‍යාංශය ඊට විරෝධය පෑම පිළිබඳ ව හෙළ කුල සිරිත් අගයන බොහෝ දෙනකුගේ ප්‍රශංසාවට හේතු විය. බලු ජෝඩුවලට මධුසමය ගත කිරීමට ද විශේෂිත ස්‌ථාන සකස්‌ කර තිබිණි. රියදුරෙකු විසින් මෙම බලු මගුල් ජෝඩු එම නිල රථයක නංවාගෙන මධු සමය ගත කිරීම සඳහා වෙන්කර තිබූ ස්‌ථානය වෙත රැගෙන යනු ලැබීය. බලු රැළකට මැදිව, බලු ගෙරවිලි බිරුම් හඬකින් හා පොරකෑම්වලින් තොර වූ නිහඬ නිස්‌කලංක හුදෙකලා ස්‌ථානයක දී අලුත විවාපත් මෙම බලු ජෝඩු කෙසේ නම් තම මධුසමය උජාරුවෙන් සමරන්න ද? වේවැළකට, දම්වැලකට අවනත ව ගෙවන මුළු ජීවිත කාලයේ දී ගත කරන්නට තිබූ උතුම් ම සැපත ද තමන්ට ඕනෑ විදිහට අත්විඳීමට වරම් නොලද මේ ආනයනික බලු ජෝඩු මොනතරම් අවාසනාවන්ත ද…. මොනවා උනත් මේ බලු ජෝඩුවලට නිවනක්‌ ලැබෙන්නේ නැත. මේ මධුසමය ගතකර යළිත් ඔවුන් පැමිණෙන්නේ අපරාධකරුවන් සොයා යන්නටය. මොවුන්ට නිවනක්‌, නිස්‌කාසුවක්‌ ලැබෙන දවසක්‌ තිබේ. ඒ මේ රටේ අපරාධකරුවන් නැතිවන දවසටය.

තුෂාරී කළුබෝවිල
Source: Divaina (Sri Lanka)