ටීඑන්ඒ උතුර ජයගනී දෙමළ ජනයා වෙනුවෙන් මට ඉටුකිරීමට වගකීම් රැසක්‌ ඇත විග්නේෂ්වරන් කියයි

උතුරේ ජනතාව රජයට වඩා දෙමළ ජාතික සන්ධානයට විශාල බලයක්‌ ලබාදීම නිසා ඔවුන් වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රැසක්‌ ඇතැයි සී.වී. විග්නේෂ්වරන් මහතා ඊයේ (22 දා) දහවල් ඔහු නවාතැන් ගෙන සිටින යාපනයේ නිවසේදී පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳව මාධ්‍යවේදීන්ට කරුණු දැක්‌වීමට ඊයේ (22 දා) යාපනය ටිල්කෝ හෝටලයේදී පස්‌වරු 2 ට පැවැත්වීමට නියමිත මාධ්‍ය සාකච්ඡාවට පෙර දහවල් “දිවයින”ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විග්නේෂ්වරන් මේ බව පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඔහු කියා සිටියේ උතුරේ වැසියන් වසර හතළිහක පමණ කාලයක සිට අත්විඳින ප්‍රශ්න

රැසක්‌ හා යුද්ධය හමාර වීමෙන් පසුව මුහුණ දෙන ගැටලු රැසක්‌ ඇති බැවින් ඒ සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ආකාරයේ පළාත් සභාවක්‌ උතුරු ප්‍රදේශය තුළ දෙමළ ජාතික සන්ධානය විසින් ගොඩ නගන බවයි.

කවුරුන් කුමක්‌ ප්‍රකාශ කළත් දෙමළ ජාතික සන්ධානයේ අරමුණ රට බෙදීම නොව ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදාගැනීමේ ක්‍රමයට අවතීර්ණ වීම බව ප්‍රකාශ කළ විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාව තුළ සිටින සිංහල, දෙමළ, හා මුස්‌ලිම් වැසියන්ට සර්ව සාධාරණව සැලකීම තම පක්‌ෂයේ යුතුකම වී ඇතැයිද පැවැසීය.

රජය පරාජය කොට දෙමළ වැසියන් අති බහුතර බලයක්‌ දෙමළ ජාතික සන්ධානයට ලබාදීම ගැන සලකා බලන විට ලද ජයග්‍රහණයේ සතුටට වඩා විශාල බරක්‌ තමා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් මත පැටවී ඇතැයිද හෙතෙම පැවැසීය.

මේ අවස්‌ථාවේදී “දිවයින”ට අදහස්‌ දැක්‌වූ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ රජය උතුරේ ජනතාවට විවිධ බොරු කියමින් දෙමළ ජාතික සන්ධානය පරාජය කිරීමට උත්සාහ කළත් දෙමළ ජනතාව විශාල යුද්ධයකට පසුව දෙමළ ජාතික සන්ධානයට සහාය පළකොට තිබීම දෙස බලන විට ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට තමන්ට පූර්ණ ශක්‌තිය යෙදවීමට සිදුවන බවයි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ දකුණේ ජනතාවත් රජයත් ජනාධිපතිවරයාත් දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ. යේ අරමුණ ඉටු කිරීමට බැඳී සිටින පක්‌ෂයක්‌ ලෙස හංවඩු ගසා ඇතත් එවැනි අරමුණක්‌ හෝ බලාපොරොත්තුවක්‌ දෙමළ ජාතික සන්ධානය තුළ නොමැති බවයි.

දෙමළ ජාතික සන්ධානය යාපනය දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීධුර දහසයෙන් දාහතරක්‌ම දිනා තිබුණද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ස්‌ථාන කීපයක රතිඤ්Æ දැල්වීම හැරුණු විට ජනතාව කෑකෝ ගැසීම පෙළපාලි යැම් දක්‌නට නොලැබිණි. ඉරිදා දිනයක්‌ වූ බැවින්ද මැතිවරණ රාජකාරි සඳහා යොදාගත් බස්‌ රථ යළි ධාවනය සඳහා බස්‌ හිමියන් ඊයේ (22 දා) යොදා නොගැනීම නිසාද යාපනයේ ප්‍රධාන මාර්ගවල පවා දැඩි පාළු ස්‌වභාවයක්‌ දක්‌නට ලැබිණි. පොලිසිය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යාපනයේ නගරය අවට දැඩි ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදා තිබූ අතර මැතිවරණ ප්‍රතිඵල දැන ගැනීමටද යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන වෙත එතරම් පිරිස පැමිණ නොසිටියහ.

දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් 109 දෙනකු යාපනයේ මැතිවරණය වාර්තා කිරීමට පැමිණ සිටීම විශේෂ සිද්ධියක්‌ විය.  (දිනසේන රතුගමගේ සහ ප්‍රසන්න ප්‍රදීප්)

Source: Divaina (Sri Lanka)