මර්වින්ගේ ගෝලයෝ දෙදෙනෙක්‌ අතුරුදන්

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ සමීප සගයකු සහ “පිබිදෙන කැලණිය” සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ කිරිබත්ගොඩ තිලක්‌ තවත් පුද්ගලයකු සමග කැසිනෝ සූදු ක්‍රීඩා කිරීම සඳහා කැසිනෝ හලකට ගොස්‌ එමින් සිටියදී ඊයේ (08 වැනිදා) අලුයම කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේදී දෙදෙනාම අතුරුදන් වී තිබේ.

මොවුන් දෙදෙනා ගමන්ගත් සුපිරි ජීප් රථය ඩී. ආර්. විජෙවර්ධන මාවතේ අතහැර දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

හිමිකරුවකු නොමැති සුඛෝපභෝගී ජීප් රථයක්‌ මහමග අතහැර දමා ගොස්‌ තිබෙන බවට ඊයේ (8දා) පෙරවරුවේ මරදාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ජීප් රිය සොයාගෙන සිදු කළ විමර්ශනවලදී එය කිරිබත්ගොඩ තිලක්‌ගේ රථය බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

ජීප් රථය සොයා ගැනීමෙන් පසුව පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඊයේ දහවල් මරදාන පොලිසියට පැමිණි කිරිබත්ගොඩ තිලක්‌ගේ බිරිඳ ප්‍රකාශයක්‌ කරමින් සිය සැමියා පෙරේදා (7 වැනිදා) සවස සිට අතුරුදන්ව සිටින බව සඳහන් කළේ යෑයි කොළඹ ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

ඉකුත් කාලයේ ඇමැති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමේදී ඇමැතිවරයාගේ සමීපතමයකු වූ කිරිබත්ගොඩ තිලක්‌ නමැත්තා ගිනි අවියක්‌ භාවිත කරමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ කිරිබත්ගොඩ පොළේ වෙළෙඳුන්ගෙන් මහා පරිමාණයෙන් කප්පම් ලබා ගන්නා පුද්ගලයකු බව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ප්‍රසිද්ධියේම පැවසූහ.

කප්පම් ගැනීමට අමතරව කාලයක සිට කිරිබත්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ බූරුවා ගැසීමේ තිප්පොළක්‌ද ඔහු පවත්වාගෙන යන බවට චෝදනා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඔහු හැඳින්වීම සඳහා “බූරු තිලක්‌” යන අන්වර්ථ නාමයද භාවිත කළේය.

කිරිබත්ගොඩ තිලක්‌ සමග අතුරුදන් වූ අනෙක්‌ පුද්ගලයාද ඇමැති මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවකු බවට ඊයේ (8දා) දහවල් වන විට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මොවුන් දෙදෙනා කැසිනෝ සූදු ක්‍රිඩාවල යෙදී සිට යළි පැමිණෙමින් සිටියදී කිසියම් කප්පම් කල්ලියක්‌ මගින් කප්පමක්‌ ලැබා ගැනීමේ අදහසින් ඔවුන් පැහැරගෙන යන්නට ඇතැයි පොලිසියට සැක මතු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

Source: Divaina (Sri Lanka)