Home » News »

අප රටේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000 ඉක්‌මවනවා – ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම

 

අප රටේ දැනට කාන්තා ලිංගික ශ්‍රමිකයන් 35000 – 47000 ත් අතර ප්‍රමාණයක්‌ වෙසෙන බවත්, ඔවුහු දිනකට අවම වශයෙන් සහකරුවන් 70,000 -94000 ත් අතර ප්‍රමාණයක්‌ ඇසුරු කරනු ඇතැයි ඇස්‌තමේන්තු කර තිබෙන බවත් ලිංගාශ්‍රිත රෝග හා එච්. අයි. වී. ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය පවසයි.

නව එච්. අයි. වී. ආසාදන සම්ප්‍රේෂණය වූ ක්‍රමය පිරික්‌සීමේදී විෂම ලිංගික සම්බන්ධතා හේතු වී ඇති බවත් එහිදී මෙම කාන්තා ලිංගික වෘත්තිකයන් අධි අවදානම් කණ්‌ඩායමේ ඉදිරියෙන් සිටින බවත් ඇය පැවසුවාය.

විශේෂඥ වෛද්‍ය දර්ශනී අබේවික්‍රම මහත්මිය මේ බව පෙන්වා දුන්නේ ලිංගාශ්‍රිත රෝග බෝවීම සහ ඒවා වළක්‌වා ගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සහ යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව, නව නගරයේ ද විලේඡ් හෝටලයේ පැවැති එක්‌දින වැඩමුළුවක්‌ අමතමිනි.

පොළොන්නරුව මහ රෝහලේ ලිංගික බෝවන රෝග මර්දන සායනය මගින් මෙය සංවිධානය කර තිබිණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය – ලෝකයේ සමස්‌ත එච්. අයි. වී. ආසාදිත සංඛ්‍යාව දස ලක්‍ෂ 34 ක්‌ පමණ වන බවට මේ වන විට ඇස්‌තමේන්තු කොට තිබෙනවා. 2011 වසර තුළ පමණක්‌ දිනකට නව ආසාදන 7000 ක්‌ ඉක්‌මවා තිබෙනවා. මෙම පිරිසෙන් සියයට 97 ක්‌ පමණ අයත් වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ඇති රටවලටයි.

ගිණිකොනදිග ආසියා කලාපය තුළ එච්. අයි. වී. ආසාදිත තත්ත්වය 2011 වසර තුළ නව ආසාදන මිලියන 2.5 යි. 2001 වසර තුළ නව ආසාදන සංඛ්‍යාවට වඩා 7000000 ක අඩුවීමක්‌. එහෙත් ඉන්දියාව, නේපාලය, තායිලන්තය, මැලේසියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල එච්. අයි. වී. නව ආසාදන ඉහළ යමින් පවතිනවා.

ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මංජුලා රාජපක්‍ෂ මහත්මියද, පොළොන්නරුව මහ රෝහලේ ලිංගික බෝවන රෝග මර්දන සායනයේ ස්‌ථාන භාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් ජයවීර, එම වෛද්‍ය සායනයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩී. ඒ. ඩී. සී. ඩී. බාලචන්ද්‍ර යන මහත්වරුද මෙහිදී කතා කළහ. (කරුණාරත්න ගමගේ)

Source: Divaina (Sri Lanka)