Home » News »

වසරකට ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ 250ක්‌ සිය දිවි නසා ගන්නවා – ගම්පහ දිස්‌ත්‍රික්‌ ලේකම්

 

වසරකට රුපියල් මිලියන දොළොස්‌ දහසක්‌ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ වේගවත් සංවර්ධනය සඳහා වැය කරනවා. එහෙත් වාර්ෂිකව මෙම දිස්‌ත්‍රික්‌කයෙන් පමණක්‌ සියදිවි නසා ගැනීම් 250 ක්‌ පමණ සිදුවෙනවා. මේ නිසා ආර්ථික සංවර්ධනය සේම ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ ලේකම් ඡේ. ඡේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ වැඩමුළුවකදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධනය පිළිබඳව විශේෂ දේශනයක්‌ පවත්වමිනි.

රතුපස්‌වල ඇතිවූ ජල ප්‍රශ්නයට හේතුව එම කර්මාන්තශාලාව නිසා පමණක්‌ම සිදුවූවක්‌ නිසා නොවේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සුළු හා මහා පරිමාණයේ කර්මාන්ත ශාලා හය දහසක්‌ පමණ තියෙනවා. ස්‌වයං ව්‍යාපාරත් මේ වගේ දෙගුණයක්‌ ජනගහනය අධිකවීමත් අපද්‍රව්‍ය බැහැරවීම වැඩිවීමත් වගාවන් සඳහා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අධික පොහොර භාවිතයක්‌ මීට බලපානවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සිදුවන සංවර්ධනය වෙනත් දිස්‌ත්‍රික්‌කවලට වඩා වේගයෙන් ක්‍රියාත්මක කරනවා. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතාගේ මෙහෙයවීමෙන් දැනටමත් දැවැන්ත සංවර්ධනයක්‌ සිදුවෙලා තියෙනවා. ග්‍රාමීය මාර්ග, මහාමාර්ග සිට අධිවේග මාර්ග දක්‌වා විශාල සංවර්ධනයක්‌ සිදුවෙලා තියෙනවා.

පෑලියගොඩ සිට කටුනායක දක්‌වා අධිවේගී මාර්ගය මෙ වන විටත් අවසන් කර තිබෙනවා. නුවර දක්‌වා දිවෙන අධිවේගී මාර්ගයේ මීරිගම දක්‌වා දිවෙන මාර්ගයේ කටයුතුත් ක්‍රියාත්මක වෙනවා.

පාසල්, රෝහල්, මාතෘ සායන ක්‍රීඩා පිටි ඇතුළු ජනතාවගේ සියලු පොදු පහසුකම් වෙනුවෙන් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙනවා. ආර්ථික සෞඛ්‍ය, අධ්‍යාපනය, මෙන්ම පරිසර සුන්දරත්වය වෙනුවෙන්ද ජනතාවගේ අධ්‍යාත්මය දියුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා යනුවෙන් ඒ මහතා පැවැසීය.

ධම්මික සල්වතුර

Source: Divaina (Sri Lanka)