බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය රුසියානු පෙම්වතියට හදි කිරීම යන චෝදනා යටතේ ඔහු ඇතුලු 6 දෙනකුට නඩු.
තංගල්ල “ද නේචර්” නිවාඩු නිකේතනයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මහතාට පහර දී ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩි්රයාට පහර දී සමූහ දූෂණයට ලක්කිරීම ඇතුළු චෝදනා 17 ක් යටතේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට (6) එරෙහිව ඊයේ (29 දා) පළමු වරට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ මෙලෙස නඩු පවරනු ලැබුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඕබඩආරච්චිගේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්ටිගේ සරත් හෙවත් සනත් හා සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති විත්තිකරුවන්ට එරෙහිවය.
2011 දෙසැම්බර් 24 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් තංගල්ලේදී රසන් අකලංක නමැත්තාට පහර දී තුවාල සිදුකිරීම එම අවස්ථාවේදීම බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්ට පහර දී ඝාතනය කිරීම හා ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩි්රයාට පහර දී තුවාල සිදුකර රංචු ගැසී ඇය දූෂණයට ලක්කිරීම හා ඝාතනය කිරීමට තැත්කිරීම “ද නේචර්” නිවාඩු නිකේතනයට රුපියල් 1,60,255 ක් අනර්ථයක් සිදුකොට එහි තිබූ රුපියල් 41,000 ක් වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑම ආදී චෝදනා 17 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට මෙහි චෝදනා ගොනු කර ඇත.
විත්තිකරුවන්ට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ පළමුව නඩු පවරා තිබූ අතර එහිදී පවත්වන නඩු විභාගයේදී විත්තිකාර සභාපතිවරයාගේ දේශපාලන බලඅධිකාරිය මත පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් නීතිපතිවරයා සතු බලතල අනුව අදාළ නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට තීරණය කෙරිණි.
සිද්ධියට අදාළව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලඝූ නොවන මූලික සාක්කි විභාගයක් නොපවත්වා නීතිපතිවරයා විසින් මෙහි විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ සෘජුවම අධි චෝදනා ගොනු කර ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර සමඟ පැමිණිල්ලේ සාක්කිකරුවන් 83 දෙනකු හා නඩු භාණ්ඩ 41 ක් නම්කර තිබිණි.
ප්‍රධාන විත්තිකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා දරන දේශපාලන අධිකාරි බලය හේතුවෙන් සාක්කිකරුවන්ට එල්ල වූ බලපෑම් මත මෙම අපරාධයට සම්බන්ධ පැමිණිල්ලේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නීතිපතිවරයා සතු බලතල අනුව යොමුකොට තිබූ අතර එම පැමිණිල්ල ලබන 01 දා යළි කැඳවීමට නියමිතය.
තංගල්ල, මැඩිල්ල පාරේ “ද නේචර්” හෝටලයේ දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ නත්තල් උදාව සමරමින් පැවැති සාදයට පැමිණ සිටි විත්තිකාර සභාපතිවරයා ඇතුළු පිරිස එහි කළමනාකරු සමඟ ආරවුලක් ඇතිකර ගෙන ඔහුට පහර දී ඇති අතර එම ආරවුල සමථයකට පත්කිරීමට මැදිහත් වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්ට එහිදී මත්පැන් බෝතල් කඩා ඇන ඝාතනය කිරීමත් ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ ඔහුගේ රුසියානු ජාතික පෙම්වතියට ද පහර දී පැහැරගෙන ගොස් රංචු ගැසී දූෂණයට ලක්කිරීමත් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි විමර්ශන පවත්වන ලදී.
Source: Divaina (Sri Lanka)