කැමැති අය අයිපීඑල් යන්න ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ විදේශ අමාත්‍යංශය තීරණය කරයි! තමිල්නාඩු තරගවලට යන්න එපා

ඉන්දියානු ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තමිල්නාඩුවේ පැවැත්වෙන තරග හැර සෙසු තරගවලට සහභාගි විය හැකි බව ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ විදේශ කටයුතු අමාත්‍යංශය ඒකමතිකව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යංශය මාර්ගයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යවන ලද ලිපියට පිළිතුරු සැපයූ විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ පිළිතුරු ලිපිය ඊයේ (27 දා) ක්‍රීඩා අමාත්‍යංශයට භාර දෙන ලදී. එහිදී අයි.පී.එල්. නියෝජනය කරන ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තරගාවලියට සහභාගි වීමට අවස්‌ථාව ලබා දිය යුතු බවට මෙම පාර්ශ්ව තීරණය කර ඇත.

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම ආරක්‍ෂාව ලබාදීමට අදාළ ඉන්දියානු බලධාරීන් එකඟ වී ඇති බව පැවසෙන අතර ඒ අනුව ක්‍රීඩකයන් තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් වෙමින් තරගාවලියට සහභාගි වීමට අවස්‌ථාව ලබා දීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් තමිල්නාඩුවේ පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩකයන්ට සහභාගි නොවන ලෙසත්, ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ලබාදෙන ආරක්‍ෂක සහතිකය පිළිබඳව එක්‌ එක්‌ ක්‍රීඩකයන්ව පෞද්ගලිකව දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසයි. (අසේල විතාන)

Source: Divaina (Sri Lanka)