කටුගෙයි පඩිපෙළ කඩා වැටී ගුරු සිසු 38ක්‌ තුවාලයි

සවස 3.10 ට පමණ පඩිපෙළ නගින විට එක පාරටම මහ හඬක්‌ නගමින් පඩිපෙළ බිමට කඩාගෙන වැටුණා” යෑයි මෙම අනතුරින් තුවාල ලැබ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පාසල් දරු දැරියෝ කිහිපදෙනෙක්‌ සඳහන් කළහ.

කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන පියගැට පෙළ ඊයේ (28 වැනිදා) සවස කඩා වැටීමෙන් කෞතුකාගාරය නැරඹීමට පැමිණි පාසල් ළමුන් 29 දෙනකු ඇතුළුව 38 දෙනකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

මෙසේ තුවාල ලබා ඇත්තේ මහනුවර ගලගෙදර ගිරියාගම විද්‍යාලය, වැලිමඩ අඹගස්‌දොaව සුමනජෝති විද්‍යාලය සහ හම්බන්තොට මිද්දෙනිය දඹරැල්ල මහා විද්‍යාලයේ පාසල් දරු දැරියන් 29 දෙනකු, ගුරුවරුන් 05 දෙනකු සහ දෙමාපියන් 04 දෙනෙකි.

පාසල් දරු දැරියන් 29 දෙනා අතරින් දරුවන් 21 දෙනකු වැලිමඩ අඹගස්‌දොaව සුමනජෝති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති.

මේ දිනවල පාසල් මගින් සංවිධානය කරනු ලබන අධ්‍යාපන චාරිකා යටතේ මෙම පාසල් හි දරු දැරියන් ද කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණ තිබේ.

පාසල් සිසුන් විශාල පිරිසක්‌ එකවර කෞතුකාගාරයේ ප්‍රධාන ලෑලි පියගැට පෙළ ඔස්‌සේ ඉහළ මාලයට ගමන් කිරීමේදී මෙම අනතුර සිදු වී ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස්‌ තිබේ.

මෙම පියගැට පෙළ වසර සියයකට වඩා පැරැණි බව ජාතික කෞතුකාගාරයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

“අපි සවස 3.10 ට පමණ පඩිපෙළ නගින විට එක පාරටම මහ හඬක්‌ නගමින් පඩිපෙළ බිමට කඩාගෙන වැටුණා” යෑයි මෙම අනතුරින් තුවාල ලැබ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පාසල් දරු දැරියන් කිහිපදෙනෙක්‌ සඳහන් කළහ.

තුවාල ලැබූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වයස අවුරුදු 8 ත්, 15 ත් අතර වියේ පසුවෙති.

සිද්ධිය සැල වූ වහාම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ජාතික කෞතුකාගාරයට පැමිණ සිද්ධිය වූ ස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌කර අනතුරුව තුවාල ලැබූ දරුවන් පිළිබඳව විමසා බැලීමට ජාතික රෝහලට ද පැමිණියේය.

අනතුරට හේතුව කුමක්‌ දැයි කියා නිශ්චිතවම පැවසිය නොහැකි බවත් ඒ සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බවත් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා zදිවයිනZට පැවැසීය.(චමින්ද සිල්වා, ධම්මික සල්වතුර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්)

Source: Divaina (Sri Lanka)