ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව පිළිගන්නේ නැතැයි ද ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකදී සාකච්ඡා පවත්වන්නේ නැතැයි ද විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේ ද කීය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති විපක්ෂ නායකවරයා විසින් ලැඡ්ජාවට පත්කර තිබෙනවා. එම යෝජනාවල පුළුල් භාවය අනුව අපි සටන්කර තිබෙනවා. තවත් කළ යුතුව තිබෙනවා. කුඩා කාලයක් පසුකර තියෙන්නේ. අපේ ස්ථාවරය පැහැදිලියි. මෙම යෝජනා සමඟ එකඟ විය නොහැකියි. සාධාරණව මධ්‍යස්ථව බැලුවොත් ඇයි ජිනීවාහි සම්මත වූ යෝජනා පිළිබඳ අපේ එකඟතාව පළ නොවුණේ? මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ වාර්ෂිකව ඉදිරිපත් කරන්නක්.
ලොකුම උවදුරු තත්ත්වය තියෙන්නේ අපේ රටේ කියා කිසිවකුට කියන්න බෑ. මීට වඩා උවදුරු තියෙන රටවල් තිබෙද්දී ඇයි අපේ රට විතරක් තෝරාගෙන පහරදෙන්නේ. ඇයි මෙසේ තියුණු ආකාරයෙන් අපේ රට ඉලක්ක ගතවන්නේ මාස හයෙන් හය මෙය සිදුවන්නේ ඇයි? මේ යෝජනාව. ඇයි පිළිගත යුතු නැත්තේ. එක්සත් ජනපදයේ මානව හිමිකම් කොමසාරිස්ගෙ වාර්තාව හා ඔවුන්ගේ මැදිහත්වීම සලකා බලනවා කියා මේ යෝජනාවෙන් ඉල්ලනවා. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා. නැවත නැවතත් මේ පරීක්ෂණය ඉල්ලා සිටිනවා. අප එය ප්‍රතික්ෂේප කරනවා. දරුස්මාන් වාර්තාව සලකා බලන්න කියා මේ යෝජනාවෙන් ඉල්ලනවා. (කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්)
Source: Divaina (Sri Lanka)