ලබා තිබෙන ජයග්‍රහණයේ ප්‍රබලම සාධකය වැඩකරන ජනතාවයි, කම්කරු දිනයට සුබපතමින් ජනපති කියයි

වත්මන් ශ්‍රී ලංකාව ලබා තිබෙන ජයග්‍රහණයේ ප්‍රබලම සාධකය ජාතික ආර්ථිකය නිවැරැදි දිශානතියට යොමු කිරීම වන අතර මේ රටේ වැඩකරන ජනතාව එහි ගාමක බලය බවට පත්ව තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අපේ රට වර්තමානයේ මධ්‍ය ආදායම් පාංතික රටක් බවට පත්ව තිබෙන බව පෙන්වා‍දෙන ජනාධිපතිවරයා අද (01) ට යෙදෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේද සඳහන් කරයි.

කම්කරු අයිතීන් වෙනුවෙන් පෙළෙගැසෙන ලෝකයේ කම්කරු ජනතාව සමඟ එක්වන ලාංකේය කම්කරු ජනතාව සමඟ මම සහෝදරත්වයෙන් යුතුව එක්වෙමි. ලෝක කම්කරු දිනය අභිමාණයෙන් සැමරීමේ අවස්ථාව උදාකර ගැනීමට රටේ වැඩකරන ජනතාව හෙළු දහඩිය කඳුළු වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය ඔවුන් වෙත අප පුදකරන්නේ දැඩි ගෞවරවයෙන් යුතුවයි.

ජාතික ආර්ථිකය නිවැරැදි දිශානතියකට යොමු කිරීම රට ලැබූ මේ ජයග්‍රහණයේ ප්‍රබලම සාධකයයි. එහි ගාමක බලවේගය බවට පත්වූයේ මේ රටේ වැඩකරන ජනතාවයි. ඔවුන් රටේ අනාගතය දෙස නිවැරදිව බැලූහ. රට ගොඩනැඟූ රජයේ ස්ථාවරභාවය රැකදෙමින් වගකීමෙන් යුතුව හැමවිටම කටයුතු කළහ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් රැක ගනිමින් රට ගොඩනැඟීමට දුන් ඒ සහාය ලෝකයේ වැඩකරන ජනතාවගේ අභිමානයටද හේතුවන බව මාගේ විශ්වාසයයි. ඒ අනුව අද ගම, නගරය එකලෙස සංවර්ධනය වෙයි. ගොවි බිමත් වැඩ බිමත් වෙනුවෙන් නිවැරැදි රාජ්‍ය අවධානය යොමුව තිබේ. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම වෘත්තීය සුරක්ෂිතභාවය වෙනුවෙන් වූ නීති රෙගුලාසි සම්පාදනය කර තිබේ.

එබැවින් අද ගොඩනැඟී ඇත්තේ වැඩකරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත සමාජයකි. ලෝකයේ දියුණු රටවල කම්කරු ජනතාව අත්විඳින බොහෝ දේ අද අපේ ජනතාවටද හිමිය. දියුණු තාක්ෂණයෙන් සේම ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍යය පහසුකම්වලින් වැඩකරන ජනතාවගේ ජන දිවිය ඉහළ නැංවී ඇත. එය වඩ වඩාත් සුරක්ෂිත කිරීමට අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් අප තැබූ පියවර ඉදිරයට ගෙනයාමට අපි ලෝක කම්කරු දිනයේදී දැඩිව අත්වැල් බැඳ ගනිමු. රට ගොඩනඟන වැඩකරන ජනතාවටත් වෘත්තීය සමිති ව්‍යාපාරයටත් ජය වේවා යි ප්‍රාර්ථනා කරමි.

Source: Dinamina (Sri Lanka)