2015 දී වත්මන් රජය පෙරලා දමා ජනතාවාදී පාලනයක්‌ ගොඩනඟනවා – සරත් ෆොන්සේකා

ඉදිරි පරම්පරා පහක්‌ වනතෙක්‌ ණයකරුවන් බවට පත්කර ඇති මේ රට ගොඩනැගීම ඉතා දුෂ්කර ක්‍රියාවක්‌ වුවත් කුමන අභියෝග ආවත් 2015 වනවිට වත්මන් රජය පෙරලා දමා ජනතාවාදී පාලනයක්‌ ගොඩනගන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (1 දා) සිය පක්‍ෂයේ මැයි දින රැළිය අමතා පැවසීය.

බත්තරමුල්ල, කොස්‌වත්ත, ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේ දී පැවති මැයි රැළියේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

අපගේ පක්‍ෂය ලියාපදිංචි කර අදට මාසයක්‌ පමණයි ගතවී ඇත්තේ. මාසයක්‌ තුළ සංවිධානය වී මෙවැනි සාර්ථක මැයි රැලියක්‌ පැවැත්වීමට ලැබීම විශාල ජයග්‍රහණයක්‌. වැඩකරන ජනතාවට අපේ පක්‍ෂයේ උපහාරය පිරිනැමීමට මුලින්ම අප පක්‍ෂයේ ක්‍රියාකාරී වැඩසටහන ලෙස මැයි රැලිය පැවැත්වීමට ලැබීම විශාල සතුටක්‌. මේ රටේ දේශපාලකයන් එදා සිටම කළේ කම්කරුවන් සිය දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් යොදාගැනීමයි. මේ නිසා කම්කරුවන්ගේ පවුල් හැමදාමත් දුක්‌ වින්දා. අනාගතයේදීත් මෙම පාලකයන් බලයේ සිටියොත් කම්කරුවන්ට ඉතා දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවෙනවා.

අපේ රටේ කම්කරු අයිතිවාසිකම් ඉල්ලා පාරට බැහැපු තරුණයන්ට පාලකයන් ඩවි තබා මර්දනය කළා. ඒ අනුව පැහැදිලි වෙනවා වර්තමාන පාලකයන්ගේ මානසිකත්වය දෙන දෙයක්‌ කාල ඉඳපල්ලා කියන එක බව.

අද රටේ පාලකයන්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය නිසා රටේ ජනතාවගෙන් සියයට අනූවක්‌ම බැටකනවා. අතලොස්‌සක්‌ දෙනා සැප විඳින්නේ බහුතරය දුක්‌ විඳින නිසයි. රටේ ආර්ථිකය පිළිබඳ වත්මන් පාලකයන්ට දැක්‌මක්‌ නෑ. විදුලි බිල නැංවීම තුළින්ම මේ පාලකයන්ගේ සැලැස්‌මක්‌ නැතිකම හෙළි වුණා.

තිස්‌වසරකට ආසන්න කාලයක්‌ පැවති යුද්ධය නිමා කිරීමට දායක වූ රණවිරුවන්ට මේ ආණ්‌ඩුව සලකන ආකාරය දැක්‌කම දුක හිතෙනවා. අද රණවිරුවන්ව පාලකයන්ගේ දරුවන්ට කාර් රේස්‌ පදින්න වැලි කොට්‌ට අදින පිරිසක්‌ බවට පත්වෙලා.

අපේ ජනතාව හැමදාමත් දේශපාකයන්ට රැවටුනා. මේ පාලකයා 18 වන සංශෝධනය තුළින් සදාකාලිකව බලයේ ඉන්න ක්‍රමවේදයක්‌ හදාගන්න උත්සාහ කරනවා. ජනතාවාදී දේශපාලන සංස්‌කෘතියක්‌ නැතිකම නිසා මෙවැනි දේ සිදුවෙනවා.

ජාතික සමගිය ගොඩනැගීම අපේ පක්‍ෂයේ ප්‍රතිපත්තියයි. සෑම ජාතියක්‌ම සහෝදරත්වයෙන් එක්‌වී රට ගොඩනගන්න ඕනෑ. පාලකයන් සිය පටු දේශපාන වාසි සඳහා ජාතිවාදය අවුස්‌සමින් සිටිනවා. අපි අපේ ආගම්වල ඒවායේ පීතෘවරුන්ගේ ගෞරවය රැකගෙන සමගියෙන් ජීවත් විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාද මෙහිදී කතා කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක ගයාන් විතානගේ, ලේකම් උලපනනේ සුමංගල හිමි, අධිනීතිඥ චන්න ගලප්පත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනිත් විපුලගුණ, නීතිඥ අරුණ දීපාල්, සරත් ගීගන, එම්. පී. රාඡ්මාල් යන අයද මෙම මැයි රැලිය අමතා කතා කළ අතර කම්කරු අයිතීන් රැක ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ යෝජනා ඇතුළත් කම්කරු ප්‍රඥප්තතියකට අනුමැතිය ලබා ගැනීමද මෙහිදී සිදුවිය. (කමල් බෝගොඩ, ඇන්ටන් ප්‍රනාන්දු)

Source: Daily Mirror (Sri Lanka)