වසර 23 ක් තිස්සේ නතර වී තිබූ මැදවච්චිය හා මඩු දක්වා වූ දුම්රිය ධාවන කටයුතු ඊයේ (14 දා) පෙරවරුවේ සිට යළි ආරම්භ කෙරිණි. මැදවච්චිය හා මඩු අතර පිහිටි නේරියකුලම හා සෙට්ටිකුලම දුම්රිය ස්ථාන ද යළි පිහිටුවා ඒවා විවෘත කිරීමද මෙදිනම සිදු කෙරිණි. ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ ඇමැති බැසිල් රාජපක්ෂ, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, කර්මාන්ත සංවර්ධන ඇමැති රිෂාර්ඩ් බදියුදීන්, කර්මාන්ත හා කුඩා ව්‍යවසාය කටයුතු පිළිබඳ ඇමැති ඩග්ලස් දේවානන්දා, ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, උතුරු මැද ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත්, නියෝජ්‍ය ඇමැති වීර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදු විණි.
මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු බාරව ක්‍රියා කරන ඉන්දීය ඉරිකෝන් ඉංජිනේරු සමාගමේ ඉංජිනේරුවෝ හා විධායක නිලධාරීහු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඉන්දීය ඉරිකෝන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 81 ක වියදමින් මැදවච්චියේ සිට මඩු දක්වා වූ දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සිදුකළ අතර මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ 2011 මාර්තු මාසයේදීය.
දෙවැනි අදියර යටතේ මඩු සිට තලෙයිමන්නාරම දක්වා වූ කිලෝමීටර් 63 කින් යුත් දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ඉතා ඉක්මනින් නිම කරන බවද මෙහිදී ඉන්දීය ඉරිකෝන් සමාගමේ නිලධාරීහු පැවසූහ.
ලබන ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා වරින් වර මඩු දේවස්ථානයේ පැවැත්වෙන මංගල්ලයන් සඳහා බැතිමතුන්ට දුම්රිය පහසුකම් සලසා දීමට දැන් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
මැදවච්චිය හා මඩු අතර ධාවනය වූ ප්‍රථම දුම්රිය ගමන සඳහා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්ත් මහතා ද, බැසිල් රාජපක්ෂ, කුමාර වෙල්ගම යන අමාත්‍යවරුන් සමග සහභාගි වූහ.
ලබන ඔක්තෝබර් මාසය වන විට උතුරු දුම්රිය මාර්ගයේ ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා දුම්රිය ධාවන කටයුතු ආරම්භ කළ හැකි බවද මෙහිදී ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය. (දිනසේන රතුගමගේ)
Source: Divaina (Sri Lanka)