ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය ‘හදා වඩා ගැනීමට’ කටාරය ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණු සංචිතයට තෝරා ගනු ලබන සෑම ක්‍රීඩකයකුගේම මාසික වේතනය සහ දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීමට කටාර පාපන්දු සංගමය පොරොන්දු වී ඇත.

මේ අනුව, පාපන්දු ජාතික සංචිතයට තෝරා ගනු ලබන සෑම ක්‍රීඩකයකුටම සිය මාසික වේතනය වශයෙන් රුපියල් 50,000 ක්‌ හිමිවන අතර දෛනික ආහාර බිල ද කටාර පාපන්දු සංගමය විසින් ගෙවනු ඇත.

ඉකුත් සති අන්තයේ (18 දා) මැදපෙරදිග කටාර් හි පැවැති එමිරේට්‌ස්‌ කුසලාන පාපන්දු අවසන් මහ තරගයේ විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා කටාර් පාපන්දු සභාපති හමාඩි බින් ඛලීµd බින් අහ්මඩ් අල් තානි මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී කටාර පාපන්දු සභාපතිවරයා මෙම පොරොන්දුව දී ඇත.

අදාළ කටාර – ශ්‍රී ලංකා පාපන්දු ආධාර ගිවිසුම්පත් ඉදිරි දෙසතිය තුළ සකසා අවසන් කොට දෙපාර්ශ්වය විසින් එයට අත්සන් තබන බව රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසීය.

අදාළ ගිවිසුම් ප්‍රකාර එක්‌ ක්‍රීඩකයකුට මෙතෙක්‌ ගෙවනු ලබන රුපියල් 20,000 වර්ධනය වී රුපියල් 50,000 වන අතර මෙම ගෙවීම අඛණ්‌ඩ වසර තුනක්‌ සඳහා වේ.

මෙයට අමතරව ජාතික සංචිතයට තෝරා ගනු ලබන රැකියා විරහිත ක්‍රීඩකයන්ට රැකියා ලබාදීම සඳහා තමා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයක්‌ සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද පැවසූ රුද්‍රිගු මහතා, ජාතික සංචිතය ආශ්‍රයෙන් තෝරා ගනු ලබන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්‌ඩායමට ඉරානය, තායිලන්තය, කටාරය සහ ජපානයේ පුහුණු සංචාර සැකසීමට ද තමා කටයුතු සූදානම් කරමින් සිටින බව ද පැවසීය.

එහෙත් මෙතෙක්‌ තෝරා නැති සංචිතයේ හෝ කණ්‌ඩායමේ සංචාරවල අවශ්‍යතාව සහ කාලෝචිතභාවය ප්‍රධාන පුහුණුකරු (බ්‍රසීලයේ ක්‌ලෝඩියෝ) විසින් තීරණය කරනු ඇත.

Source: Divaina (Sri Lanka)