කොල්ල කල්ලියේ සිටි යුද හමුදා ලාන්ස්‌ කෝප්‍රල්ට පොලිස්‌ වෙඩි වදී

අනුරාධපුර නගරයේ සිට නොච්චියාගම ළිඳවැව ප්‍රදේශයට පෙරේදා (23 දා) රාත්‍රී ත්‍රිරෝද රථයකින් කුලී ගමනක්‌ ගොස්‌ ත්‍රිරෝද රියෑදුරුට පහරදී ඔහු සතු රුපියල් හාර දහසක්‌ සහ ජංගම දුරකථනයක්‌ පැහැරගෙන පලා යමින් සිටි සිව්දෙනෙකුගෙන් එක්‌ අයෙකුට නොච්චියාගම පොලිසිය විසින් වෙඩි තැබීමේදී යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු ලාන්ස්‌ කෝප්‍රල්වරයෙකු බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූ කොල්ලකරු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එම සැකකරු බටලන්ද, බියගම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකා කඳවුරේ සේවය කරන අයෙකු වන අතර ඔහු නොච්චියාගම නැකැත්තේගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මේ අතර මෙම කොල්ලයට සම්බන්ධ බවට සැකකරන තවත් තිදෙනෙකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කඩ පනහ වෙළෙඳ සංකීර්ණය අසල ත්‍රිරෝද රථ ගාලේ සිටින පහරකෑමට ලක්‌වූ ත්‍රිරෝද රථ රියෑදුරු අනුරාධපුර නගරයේදී පෙරේදා රාත්‍රි හමුවී ඇති සැකකාර ලාන්ස්‌ කෝප්‍රල්වරයා තමාට නොච්චියාගම ළිඳවැව ප්‍රදේශයට කුලී ගමනක්‌ යැමට අවශ්‍ය බව පවසා තිබේ.

ඔහුගේ ඉල්ලීම මත ත්‍රිරෝද රියෑදුරු ලාන්ස්‌ කෝප්‍රල්වරයා සමග නොච්චියාගම, ළිඳවැව ප්‍රදේශයට ගොස්‌ ඇත.

කුලී මුදල ලබාදීමට තම නිවසට යා යුතු බව පැවසූ සැකකාර ලාන්ස්‌ කෝප්‍රල්වරයා ත්‍රිරෝද රියදුරු පාළු නිවසකට කැඳවාගෙන ගොස්‌ තිබේ. පසුව එහි සිටි තවත් තිදෙනෙකු සමග එක්‌ව ත්‍රිරෝද රථ රියදුරාට පහරදී ඔහු සතුව තිබූ මුදල් හා ජංගම දුරකතථනය පැහැර ගෙන පලා ගොස්‌ තිබේ.

අනතුරුව ත්‍රිරෝද රථය එහි දමා නොච්චියාගම පොලීසිය වෙත ගොස්‌ ඇති රියෑදුරු තමන් මුහුණදුන් සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට ඇත.

එම අවස්‌ථාවේ වහා ක්‍රියාත්මක නොච්චියාගම පොලිසියේ නිලධාරීන් ත්‍රිරෝද රියෑදුරු සමග සිද්ධිය වූ ස්‌ථානයට ජීප් රථයකින් යන අතරමග සිටි සැකකාර ලාන්ස්‌ කෝප්‍රල්වරයා ජීප්රථය එන අයුරු දැක පොලිස්‌ අණ නොතකා සිය යතුරුපැදියෙන් පලායැමට උත්සාහ කරද්දී පොලිසිය ඔහුට වෙඩි තබා තිබේ.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සෙසු තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊයේ (24 දා) තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර නොච්චියාගම පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. (පර්සි කුරුනේරු)

Source: Divaina (Sri lanka)