ඩී. සී. ඩී. අත්හදා බැලීමට මෙරට දරුවන් යොදාගන්න එපා – ඇමැති පාඨලී නවසීලන්ත මහ කොමසාරිස්‌වරියට කියයි

ඩීසීඩී රසායනිකයේ හානිකර බව පරීක්‍ෂා කර බැලීමට මෙරට දරුවන් හෝ කිරිපිටි පාරිභෝගිකයන් භාවිත නොකරන්නැයි නවසීලන්ත මහ කොමසාරිස්‌ ජෑන් හෙන්ඩර්සන් මහත්මියගෙන් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (13 දා) ඉල්ලීමක්‌ කළේය.

එය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මහකොමසාරිස්‌වරිය හමුවේ ඇමැතිවරයා විසින් අවධාරණය කර තිබේ.

තම නිලධාරීන් සමඟ තමා මෙම වරද නිවැරදි කිරීමට අඛණ්‌ඩව පෙනී සිටින බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා මහකොමසාරිස්‌වරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

රජයේ පිළිගත් ආයතනයක්‌ ප්‍රකාශයට පත්කළ වාර්තාව පදනම් විරහිත බව ඇතැම් කිරිපිටි සමාගම් ප්‍රකාශ කිරීම කනගාටුදායක බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික ආයතන සමඟ නවසීලන්ත රජයේ ගනුදෙනුවක්‌ හෝ සම්බන්ධතාවක්‌ නොමැති බවත් තමන්ගේ සහ තම රජයේ එකම අරමුණ රටේ කීර්තිනාමය රැකගෙන සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම බවත් මෙහිදී නවසීලන්ත මහකොමසාරිස්‌ ජෑන් හෙන්ඩර්සන් මහත්මිය සඳහන් කළාය.

නවසීලන්ත විද්‍යාඥයන් ශ්‍රී ලංකා විද්‍යාඥයන් සමඟ එක්‌ව මේ සම්බන්ධව අඛණ්‌ඩ පරීක්‍ෂණ සිදු කිරීමට තම රජය සූදානම් බවත් ඇය ප්‍රකාශ කළාය. (සිරිමන්ත රත්නසේකර)

Source: Divaina (Sri Lanka)