මනාප 336,327ක් ලබාගනිමින් දයාසිරිගෙන් නව වාර්තාවක්

වයඹ පළාත් සභා මැතිවරණ අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා, මනාප ඡන්ද 336,327ක් ලබාගනිමින් පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් අපේක්‍ෂකයා ලෙස නව වාර්තාවක් පිහිටුවීමට ඊයේ (22) සමත් විය.

දයාසිරි ජයසේකර මහතා විසින් බිඳ දමා ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් 1993 බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී මනාප 298457ක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාවය.

ජොහාන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට මනාප ලබාගෙන ඇති අතර, ඒ මහතා ලබාගෙන ඇති මනාප ප්‍රමාණය 134443කි. දයාසිරි ජයසේකර මහතා ඔහුට වඩා මනාප ඡන්ද 201884ක් ලබා ගැනීම විශේෂත්වයකි.

වාර්තා ගත ජයග්‍රහණයෙන් පසු දිනමිණට අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

වයඹ දැක්මෙන් මනා ලෙස සම්පත් කළමනාකරණය කර ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට හැකි උපරිම අයුරින් දායක වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අභිමානය රැකගනිමින් වංචාව, දූෂණය, පරාජය කිරීමට ගෙන ගිය සංවිධානාත්මක වැඩපිළිවෙළේ අතිවිශ්ෂ්ට ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

දේශපාලන සදාචාරය මුදලට විනාශ කිරීමට දැරූ උත්සාහය පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ගේ ආශිර්වාදයත් ශක්තියත් මත තමාට පරාජය කිරීමට හැකි වුණා, ඒ පිළිබඳ නිහතමානීව ආඩම්බර වනවා.

සියලු අභියෝග හමුවේ එක රොදකට බැඳී ශක්තියක් වූ සමස්ත වයඹ ජනතාවට හිස නමා ආචාර කරනවා. පක්‍ෂ භේදයෙන් තොරව වයඹ පළාත සංවර්ධන මාවත කරා යෑමට ඇපකැප වෙනවා.

මම ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ යාමට ඇප කැපවී සිටිනවා. වයඹ සංවර්ධනයේ මාවත දැන් විවර වී තිබෙනවා. මට ඒ සඳහා ඔබ සැමගේ සහාය අවශ්‍යයි. මම ඔබ සැමගේ ආදරණීය දයාසිරි ජයසේකර යැයි හෙතෙම වැඩිදුරටත් කීය.

Source: Dinamina (Sri Lanka)