මාතර යුද්ධය: මංගලගේ 24 ක්‌ රිමාන්ඩ්

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බව කියමින් මාතර නගරයේ පෙරේදා (05 වැනිදා) පැවැති විරෝධතා පාගමනට කඩාවැදී පෙළපාලිකරුවන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවෝ 24 දෙනෙක්‌ ඊයේ (6 වැනිදා) මාතර අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (7 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

මෙම පිරිස අද මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පමුණුවා හඳුනාගැනීමේ පෙරට්‌ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ආධාරකරුවන්ට අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින මංගල සමරවීර මහතාගෙන් ද මාතර පොලිසිය ඊයේ (06 වැනිදා) ප්‍රශ්න කර තිබේ.

බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර මාතර මහ නගර සභාවේ විපක්‍ෂ නායක උපුල් නිශාන්ත, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් සමීර මනහර, මාතර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක ලයනල් කොඩිකාර, නාගරික මන්ත්‍රිවරුන් වන නලින් කුමාර, මොහොමඩ් ඉක්‌බාල්, මොහොමඩ් හුස්‌නි යන අයද සිටිති.

මේ අතර මෙම ගැටුම පැවැති අවස්‌ථාවේ වෙඩි ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර ඇත. ඔහු ද මෙම ගැටුමේදී තුවාල ලබා ඇති නිසා පොලිස්‌ ආරක්‍ෂාව යටතේ තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම ප්‍රහාරයේදී පුද්ගලයන් අටදෙනකු තුවාල ලැබූ අතර ඔවුන් රෝහල්ගත කර ඇත. මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෙඩි ප්‍රහාරයට ලක්‌ව බරපතළ තුවාල ලබා සිටින තවත් අයකු මාතර රෝහලෙන් කොළඹට මාරු කර තිබේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔවුන් සොයා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ පරීක්‍ෂණ පවත්වති.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මෙම සිද්ධිය වූ අවස්‌ථාවේ පටිගත කර ගන්නා ලද වීඩියෝ දර්ශන උපයෝගි කරගන්නා ලද බව ද පොලිසිය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට බලකරමින් එජාප ආධාරකරුවන් දහසකට ආසන්න පිරිසකගෙන් සැදුම්ලත් සාමකාමී පාගමනක්‌ පෙරේදා (05 වැනිදා) පෙරවරුවේ දෙවුන්දර විෂ්ණු දේවාලය අසලින් ආරම්භ කරනු ලැබීය. දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක, දෙවිනුවර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක තුෂාර විඡේසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු විරෝධතා පාගමනට නායකත්වය දෙනු ලැබුවේ හර්මන් ගුණරත්න මහතා විසිනි.

දෙවුන්දරින් ආරම්භ කළ පාගමන මාතර දෙසට ගමන් ගනිද්දී මාතර වැල්ලමඩම දෙසින් පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව පැමිණි ආධාරකරුවන් පිරිසක්‌ මාර්ගය අවහිර කරමින් බාධා කර තිබේ. මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි එම ආධාරකරුවන් කළහකාරී ලෙස හැසිරෙමින් රනිල් විරෝධී පාගමනේ පැමිණි පිරිසට පහර දීමට උත්සාහ කර ඇතත් ප්‍රදේශවාසීන් විසින් එය මැඬපවත්වා තිබේ. පසුව රනිල් විරෝධී පිරිස නැවත පාගමන ආරම්භ කර මාතර නගරය බලා ගමන් කළ අතර මාතර නගර සභාව ආසන්නයේ මඟ රැක සිටි පොලු මුගුරුවලින් සන්නද්ධ සියයකට අධික පිsරිසක්‌ සාමකාමී පාගමනේ යෙදුණු පිරිසට ඉවක්‌ බවක්‌ නොමැතිව පහර දීමට පටන්ගෙන තිබේ.

එම ගැටුම ඇති වූ අවස්‌ථාවේ වෙඩි තැබීම් කිහිපයක්‌ ද සිදු වූ අතර වෙඩි ප්‍රහාරයට ලක්‌ ව පස්‌දෙනෙක්‌ එහිදී තුවාල ලැබූහ. මංගලගේ පිරිස මාතර නගරයේ ධාවනය වූ වාහන කිහිපයකට සහ පෙළපාලියේ වාහන කිහිපයකට ද පහර දී බරපතළ හානි සිදුකර ඇත.

මාතර පොලිසිය ගැටුම මැ`ඬපවත්වා දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පසුව කටයුතු කර තිබේ. මෙම ගැටුම සිදු වූ ස්‌ථානයේ තිබී පිස්‌තෝල හිස්‌ උණ්‌ඩ කොපු කිහිපයක්‌ ද පොලිසිය සොයාගත් අතර වෙඩි තැබීමට උපයෝගි කරගත් පිස්‌තෝලය ඊයේ (06 වැනිදා) සවස්‌ වනතුරු සොයාගෙන තිබුණේ නැත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති මැකාති පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

පසුබිම් වාර්ත:- චන්ද්‍රදාස කොඩිතුවක්‌කු, කැකනදුර – ගයාන් දර්ශන, ගන්දර – එස්‌. කේ. කේ. ගුණතිලක, අකුරැස්‌ස – උපුල් පිනිදිය, මාතර – කේ. එච්. පියසේන, ගාල්ල – ලලිත් චාමින්ද, ගාල්ල අතිරේක – යූ. පී. කුලතිලක

Source: Divaina (Sri Lanka)