සචින්ගේ ටෙස්‌ට්‌ ගමනක අවසානය අද ඇරඹේ

ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවකු ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර්ගේ වසර 24 ක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ අවසන් සහ සමුගැනීමේ ටෙස්‌ට්‌ තරගාවලිය අද (06 දා) සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග කල්කටාහිදී ආරම්භ වේ.

ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කර ඇති පිතිකරුවා බවට පත්ව සිටින ටෙන්ඩුල්කාර් මෙම තරගාවලියේදී තවත් විරල වාර්තාවක්‌ වන ටෙස්‌ට්‌ තරග 200 කට ක්‍රීඩා කළ ලොව පළමුවැන්නා බවටද පත්වනු ඇත. මේ වන විටත් ටෙස්‌ට්‌ තරග 198 කට ක්‍රීඩා කර ඇති ටෙන්ඩුල්කාර් ශතක 51 ක්‌ සහ අර්ධ ශතක 67 ක්‌ සමග ලකුණු 15,837 ක්‌ද එක්‌දින තරග 463 කදී ශතක 49 ක්‌ සහ අර්ධ ශතක 96 ක්‌ සමගින් මුලූ ලකුණු 18,426 ක්‌ද රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි.

ලොව ශතක 100 ක්‌ රැස්‌ කරන ලද ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වූ ටෙන්ඩුල්කාර් ලොව ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 24 වැනි ස්‌ථානයේ පසුවෙයි. පස්‌වතාවක්‌ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්‌ථානයට පත්ව සිටින ටෙන්ඩුල්කාර්ගේ සමුගැනීමේ තරග දෙකෙහිදී ලකුණු අතරට පැමිණීමට සමත් වුවහොත් ශ්‍රේණිගත කිරීම්හි පළමු පිතිකරුවන් 20 අතරට පැමිණීමේ අවස්‌ථාවක්‌ උදාවනු ඇත.

ප්‍රථම වරට 1994 වසරේදී අංක එකේ ටෙස්‌ට්‌ පිතිකරුවා බවට පත්ව සිටින බ්‍රයන් ලාරාව දෙවැනි තැනට ඇද දමමින් පළමු ස්‌ථානයට පත් සචින් අනතුරුව, 1998 මාර්තු මසදී, 2000 මැයි මසදී 2002 ජනවාරි මසදී සහ 2010 ඔක්‌තෝබර් මසදී ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානයට තේරී පත්විය.

ටෙන්ඩුල්කාර්ගේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 200 වැනි සහ අවසන් ටෙස්‌ට්‌ තරගය වන කොදෙව් කණ්‌ඩායම සමග දෙවැනි ටෙස්‌ට්‌ තරගය ටෙන්ඩුල්කාර්ගේ මවු ක්‍රීඩා සමාජ පිටිය වන මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමද විශේෂත්වයක්‌ වේ.

Source: Divaina (Sri Lanka)