ජාතිවාදී බලවේගවලට ඉඩ නොදෙමු

* පාතාලයට වීරත්වය ආරූඪ කරන්න එපා
ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි
‘ශ්‍රී ලංකාවේ කිසිදු ජාතිවාදී බලවේගයකට හිස ඔසවන්නට ඉඩ නොතබමු’ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර සමගිය වර්ධනය කරමින් ජාතිවාදී කොටස් වලට හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා කටයුතු කිරීමෙහිලා තමාට සහයෝගය ලබා දෙන ලෙසද ඒ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ ඊයේ (15) පැවැති විශේෂ සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙහිදී ඉතාම වගකීමෙන් කටයුතු කරන ලෙසත් ජාතිවාදය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා ප්‍රතිසංධාන ක්‍රියාවලියට හානි කරන හෙයින් තම පුවත්පත් රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා තුළින් කිසිදු ලෙසකින් හෝ ජාතිවාදයට ඉඩ නොතබන ලෙසත්ය.

තමන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සාමයෙන් හා සමාදානයෙන් ජීවත්වනු දැකීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Source : Dinamina (Sri Lanka)