තමිල්නාඩු කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික 150ක් අතුරුදන්

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 150 දෙනකු පමණ පසුගිය සති දෙකක කාලය තුළ අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මේ පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇත්තේ යාබද කේරළ ප්‍රාන්තයයි. කේරළයේ සිට මුහුදු මාර්ගයෙන් විදේශගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 151 දෙනෙක් කේරළයේ කොල්ලම් නගරය ආසන්නයේ දී මීට සති තුනකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

තමිල්නාඩුවේ කදවුරුවලින් පලා යන ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් මුහුදු මාර්ගයෙන් සිය රටට පැමිණෙනු ඇති බවට ඕස්ටේ‍්‍රලියාව ද බිය පළ කර ඇත.

මෙම සරණාගතයන් මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට යාමට උත්සාහ දරා ඇත්නම් ඉන්දීය සාගරයේ මෝසම් සුළං පවතින මේ කාලය තුළ පසුගිය දා ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසල මුහුදේ දී සරණාගතයන් පිරිසක් රැගත් යාත්‍රාවක් පෙරළී සිදුවූ අනතුර වැනි තවත් අනතුරක් පිළිබඳව බලධාරීන් සැක පළකරයි.

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවලින් සරණාගතයින් අතුරුදහන් වන බවට වාර්තා ලැබී ඇති බව කේරළයේ කොල්ලාම් පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම පසුගිය සති 2ක කාලය තුළ සරණාගතයින් රැගත් කිසියම් යාත්‍රාවක් පිටත්වී ඇද්ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බව ද එම පොලිසිය පවසා ඇත.

කෙසේවෙතත් මේ සරණාගතයින් පිරිස එසේ ඉන්දියාවෙන් පිටත්වී ඇද්ද යන්න පිළිබඳ තහවුරු කිරීම සඳහා මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බවද කේරළයේ කොල්ලාම් පොලිසිය පවසයි.

ශ‍්‍රී ලංකාවේ සිට ඍජුවම ඕස්ටේ‍්‍රලියාව බලා නීති විරෝධී සංක‍්‍රමණිකයන් ගමන් කිරීම දැන් මුළුමනින්ම නතර වී ඇති බවට නාවික හමුදාව පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර සහ රක්ෂණ ශ්‍රියන්ත
Source: Dinamina (Sri Lanka)