කොළඹ හොල්ලන මාමාඅස්මී ගැන ඔත්තුවට ලක්ෂ දහයයි

කාලයක් තිස්සේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය පුරා සිදු කෙරෙන මහා පරිමාණ අපරාධ පිටුපස සිටින පාතාල නායකයා කාදර් මොහොමඩ් අස්මින් නොහොත් මාමා අස්මී නොහොත් මාමස්මී බව ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගත් මෙම පාතාල නායකයා මහා පරිමාණ කප්පම් ගැනීම්, පැහැරගෙන යාම්, ස්ත්‍රී දූෂණ, ගිනි අවි භාවිතය, කොල්ල කෑම්, මිනී මැරුම් ඇතුළු අපරාධ රාශියකට සම්බන්ධව ඒවා මෙහෙයවන පාතාල නායකයා වෙයි.

මොහු අපරාධ කල්ලි මෙහෙයවන නායකයා වුවද ඔහු ඒවාට සම්බන්ධ බව මහජනතාව දැනගත්තද ඔහුට එරෙහිව කිසිදු පැමිණිල්ලක් එළිපිට කිරීමට බිය වී සිටිති. එහෙත් දුරකතන ඇමතුම්වලින් ඔහු පිළිබඳ ඔත්තු ලැබේ.

එබැවින් මේතාක් කාලයක් ඔහුට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් පොලිසියක සටහන් වී නොමැත. කොළඹ ජනතාව බිය කරගෙන සිටින මෙම අපරාධ නායකයා හිටපු පාතාල කල්ලි නායක ෆාරිගේ ගෝලයෙකි.

පොලිස් කණ්ඩායම් මොහු අත්අඩංගුවට ගැනීමට නිරතුරුවම වැටලීම් කරති. එහෙත් මොහු තම පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ජීවත් වෙයි.

මුස්ලිම් ජාතික කාන්තාවක් සේ හිසේ සිට දෙපතුල දක්වා වු කළු දිග ලෝගුවකින් මොහු වරෙක සැරසී සිටියි.

තවත් වරෙක හිස වසාගෙන සාරිය හැඳ සිටියි. කාන්තාවක් ලෙස මිස කිසිදු අවස්ථාවක මොහු පිරිමියකු ලෙස පෙනී නොසිටියි.

මොහොමඩ් අස්මීර් 1978 ජුනි 19 වැනිදා කාසල් වීදිය කාන්තා රෝහලේදී උපත ලබා තිබේ. ඔහුගේ හැඳුනුම්පත් අංකය 781711004V 1998 2001 සහ 2008 යන වසරවල අවස්ථා තුනකදී මොහුගේ හැඳුනුම්පත වෙනස් කර තිබේ.

මාමාස් මී කාලයක් යකඩ ව්‍යාපාරයකද යෙදී ඇත. පසුව මත් කුඩු ජාවාරම හරහා විවිධ වූ දේශපාලඥයන්ටද සම්බන්ධ වී කුලියට අපරාධ සිදු සිදුකිරීමට යොමුවී ඇත.

මේ වන විටත් මොහුට සැඟවී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ සහ තවත් නාගරික මන්ත්‍රීවරු දෙදෙනකුගේ සහාය ලැබී තිබෙන අතර ඔවුන් දෙදෙනා මොහුගෙන් මුදල් සහ වෙනත් ලාභ ප්‍රයෝජන ලබන බවට පොලිස් බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. පොලිසියට කොටු නොවී සිටීමට මොහුට ඔවුන්ගේ සහාය ලැබී ඇත. මොහු විවාහකය. දරු දෙදෙනකුගේ පියෙකි. ඔවුන් මාලිගාවත්ත තට්ටු නිවාසවල පදිංචිව සිටිති. පාතාලයට සම්බන්ධ මාමාස්ගේ සොහොයුරා මීට මාස ගණනාවකට පෙර පොලිසියට කොටු විය. පසුව ඇප ලබා යද්දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගියේය.

මාමස්මී අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට පෙර අවස්ථා ගණනාවකදීම මහජනතාවගේ සහාය ඉල්ලා සිටියේය. ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමටද සූදානම්ව සිටියි.

ඇපල්වත්ත, මාලිගාවත්ත ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ජනතාව අතර සැඟවී සිට පොලිස් ඇසට වැලිගසා තවදුරටත් අපරාධ මෙහෙයවන මෙම පාතාල නායකයා කොටුකරගෙන පාතාලයට තිත තැබීමටත් පොලිසිය මහජනතාවගේද සහාය පතයි.

Source: Dinamina (Sri Lanka)