හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙනම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන බැවින් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මහජන නියෝජිතයකු ඔහු වෙනුවෙන් රැස්වීම් සංවිධානය කිරීම හෝ රැස්වීම්වලට සහභාගි වීමෙන් වැළකී සිටිය යුතු බවට පෙරේදා (19 දා) පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අවධාරණය කෙරිණි.
ෆොන්සේකා මහතාගේ රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර එලෙස වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දරන නායකයකුගේ රැස්වීම්වලට සහභාගි වීමෙන් එක්සත් ජාතික පක්ෂයට හානි විය හැකි මෙන්ම පාක්ෂිකයන් නොමඟ යා හැකි බව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකගේ මතය වී ඇත.
සරත් ෆොන්සේකා මහතා සිරගත කර සිටියදී හෝ රෝහල්ගත කර සිටියදී ඔහු බැලීමට යැම, දුක සැප විමසීම ප්‍රශ්නයක් නොවුණත් අද ඔහු පක්ෂයක නායකයකු ලෙස දේශපාලන ව්‍යාපාරයේ නිරතව සිටින අවස්ථාවක එ.ජා.ප. ක්‍රියාකාරීන් ඔහු පසුපස යනවා නම් එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සාකච්ඡා කොට තිබේ.
මේ අතර සරත් ෆොන්සේකා මහතා කැමැති නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එහි සාමාජිකත්වය ගන්නා ලෙසත් එසේ නොමැති නම් පොදු විපක්ෂය සමග එක්ව ජනතාවාදී වැඩපිළිවෙළ දියත් කිරීමට හවුල්වන ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී විවෘත ආරාධනාවක් කර ඇත.
සරත් ෆොන්සේකා මහතා සිරගෙදරින් නිදහස් වනවාත් සමග ඉහත ආරාධනය එ.ජා.ප. පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් කර තිබුණද මෙතෙක් ඒ සඳහා ෆොන්සේකා මහතා ප්‍රතිචාර දක්වා නොමැති බවද එම රැස්වීමේදී අනාවරණය විණි.
පියසේන දිසානායක
Source: Divaina (Sri Lanka)