ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන හා ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර අධිරක්ෂිත වනය තුළ පසුගිය 3 වැනිදා සිට ගින්නක් හටගෙන තිබේ.
මෙම අධිරක්ෂිත වනය පිහිටියේ හෝටන්තැන්න ජාතික උද්‍යානයට යාබදවයි. එදින අ ලුයම සිට ඇතිවූ මෙම ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාව, පොලිසිය, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යුහුසුළුව කටයුතු කරන ලදී. ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි පටි යෙදවීමටද යුද හමුදා සෙබළුන් විසින් සිදුකරන ලදී.
නමුත් නැවතත් 3 වැනිදා රාත්‍රියේ සිට ඇවිළුණු ගින්න සුළඟත් සමග දැඩි ලෙස විහිදී යන ලදී. දුම්රිය මග දෙපසද දැඩි ලෙස ගින්න වර්ධනය වී තිබූ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයටද මේ නිසා බාධා ඇතිවිය. දුම්රිය ධාවනය අතරමග නවතා ගින්නෙන් දුම්රිය මගට ඇද වැටී තිබූ ගස් කපා ඉවත් කර දුම්රිය ධාවනයට සේවකයෝ කටයුතු කළහ.
එසේම දුම්රිය මග දෙපස කලකට පෙර සුළඟට වැටී තිබූ දැව කඳන්වලට ගිනි ඇවිලී බුර බුරා නැගෙන ගිනි දැල් නිසා ඉන්ධන ප්‍රවාහන දුම්රියන් ධාවනය කිරීමේදී ඉතා ප්රවේශම්කාරීව කටයුතු කිරීමට බලධාරීහු කටයුතු කළහ.
ඔහිය, හෝර්ටන්තැන්න හා පට්ටිපොල යන ස්ථාන අධිරක්ෂිත කලාප වේ. තෙරක් නොපණෙන මේ වනය ශ්‍රී ලංකාවේ වටිනාම පාරිසරික පද්ධතියන් වුවත් මේ අධිරක්ෂිත වනය ආරක්ෂා කිරීමට වැලිමඩ වන සංරක්ෂණ කාර්යාලයේ සිටින්නේ සීමිත නිලධාරීන් පිරිසකි. දිනපතා මේ වනාන්තර පරීක්ෂා කොට මීට වඩා නිලධාරීන් යොදවා ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදුකිරීමට කටයුතු කරන්නේ නම් මෙවැනි ගිනි ගැනීම් ව්‍යාප්ත වීමට ප්‍රථම නිවා දැමීමේ හැකියාව තිබේ. පෙරේදා (4 දා) දවස පුරාම දියතලාව හා නුවරඑළිය යුද හමුදා සෙබළුන් හා නිලධාරීන් ගින්න පැතිරීම වැළැක්වීමට ගිනි පටි යොදවනු ලැබුවත් ඊයේ (5 දා) දිනයේද මෙම ගින්න ව්‍යාප්ත වී තිබෙන අයුරු දක්නට ලැබිණි.
ඔහිය, පට්ටිපොළ, හෝර්ටන්තැන්න ප්‍රදේශවල කිසිදු ජංගම දුරකථනයක් සඳහා සංඥ නොමැති වීමද හදිසි ආපදා අවස්ථාවලදී දැඩි අසීරුවක් වී තිබේ.
සටහන හපුතලේ – බුවනෙක
Source: Divaina (Sri Lanka)