“ස්ථිරසාර සාමයක් හා සමාජයක් සඳහා” වන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ ආරක්ෂක සමුළුව හෙට (08 දා) සිට 10 වැනිදා දක්වා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වේ.
පශ්චාත් යුද සමයේ ක්‍රියාත්මක වන “ෆයිව් ආර්” සංකල්පය යටතේ නැවත ඉදිකිරීම්, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපනය කිරීම, ප්‍රති සමාජගත කිරීම හා සංහිඳියාව පිළිබඳව පවත්වන මෙම සමුළුව හෙට (08 දා) පෙ.ව. 8.00 ට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
ශ්‍රී ලංකාව, ඇමරිකාව, එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 43 ක දෙස් විදෙස් නියෝජිතයන් 250 දෙනකු පමණ සහභාගිවන මෙම සමුළුව අමතා දෙස් විදෙස් දේශකයෝ 22 ක් දේශන පවත්වති.
විශ්‍රාමික හමුදා ජනරාල්වරයකු වන පාකිස්තානයේ ආරක්ෂක ලේකම්වරයා මෙවර සමුළුව නියෝජනය කිරීම විශේෂත්වයක් වන අතර, උගන්ඩාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ බෲනායි, මාලදිවයින යන රටවල හමුදාපතිවරු දෙදෙනාද සහභාගි වෙති. සෙසු රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ 100 ක් පමණ මෙම සමුළුව නියෝජනය කරති.
චීනය නියෝජනය කරමින් නියෝජිතයන් 06 දෙනකු සහභාගි වන අතර, එය එක් රටකින් සහභාගි වන වැඩිම නියෝජිත පිරිසවේ. ඉන්දියාවෙන් සහභාගි වනුයේ එක් නියෝජිතයෙකි.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මෙම සමුළුව සංවිධානය කර ඇත.
සිරිමෙවන් කස්තුරිආරච්චි
Source: Divaina (Sri Lanka)