විවිධ බාධක මධ්‍යයේ සාර්ථකව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ තුළින් මේ වනවිට ලබා තිබෙන ප්‍රගතිය අතිවිශිෂ්ට බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රතිඵල රැසක් අත්කරගෙන තිබෙන අතර දේශීය හා ජාත්‍යන්තර සංවිධාන මඟින් ලබාදෙන සහයෝගය අඛන්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් එම කාර්යය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබිනෙයි නැන්දි මහතා විශ්වාසය පළකරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඉතා ඉක්මණින් මේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි සුබිනෙයි නැන්දි මහතා විශ්වාසය පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමත් සමඟ නැවත පදිංචි කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකිවී තිබෙන බවයි.
ත්රස්තවාදීන් විසින් වර්ග කිලෝමීටර් 2061ක භූමි ප්‍රදේශයක් පුරා බිම් බෝම්බ වල දමා තිබූ බව පෙන්වා දුන් ඇමැතිවරයා මේ වනවිට වර්ග කිලෝමීටර් 1943ක බිම් බෝම්බ ඉවත්කර තිබෙන බවද තවත් ඉතිරීවී ඇත්තේ වර්ග කිලෝමීටර් 118ක ප්‍රමාණයක පමණක් බවද සඳහන් කළේය.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කිරීමත් සමඟ උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්කයන්හි නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඒ 12 සහ ඒ 15 මාර්ගයන්හිද උතුරු දුම්රිය මාර්ගයේද ඉදි කිරීම් ආරම්භකර ඇතැයි පැවසීය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් නැඟෙනහිර මුහුදු තීරයද මේ වනවිට විදේශීය සංචාරකයන් වෙනුවෙන් විවෘත වී තිබෙන බව සඳහන් කළ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මඩු පල්ලිය, තිරුකේෂ්වරන් හින්දු කෝවිල බැතිමතුන් වෙනුවෙන් විවෘත බවද ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන, ආධාර දෙනු ලබන සංවිධාන, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය යන රටවල තානාපති කාර්යාලයන්හි ඉහළ පෙළේ නිලධාරීන්, දේශීය සහ ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයන්හි නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
මහින්ද අලුත්ගෙදර
Source: Dinamina (Sri Lanka)