Home » News »

සන්ධානයට විශිෂ්ට ජයක්‌

 

උතුරුමැද හා සබරගමුව පළාත් සභාවලින් ඉකුත් 2007 පළාත් සභා මැතිවරණයට වඩා ඡන්ද සංඛ්‍යාව හා බලය වැඩිකර ගැනීමට එජනිසයට හැකි විය. නැගෙනහිර පළාත් සභාව සන්ධානය ජයග්‍රහණය කළ නමුත් එහි බහුතර බලය හිමිකර ගැනීමට කිසිදු පක්‍ෂයකට හැකි නොවීය. මේ නිසා එම පළාත් සභාවේ බලය කුමන පක්‍ෂයක්‌ හිමිකර ගනීද යන්න මෙතෙක්‌ තීරණය කර නොමැත.

පළාත් සභා තුනෙහි මන්ත්‍රි ධුර 108 න් 57 ක්‌ එජනිසයට හිමි වූ අතර එජාපය 29 ක්‌ ලබා ගත්තේය. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානයට 11 ක්‌ ද ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට 07 ක්‌ ද ලංකා කම්කරු කොංග්‍රසයට දෙකක්‌ ද ජනතා විමුක්‌ති පෙරමුණට හා ජාතික නිදහස්‌ පෙරමුණට එක බැගින් ද මන්ත්‍රී ධුර හිමි විය. ඉකුත් පළාත් සභා මැතිවරණයේදී ජවිපෙට මෙම පළාත් තුනෙන් මන්ත්‍රී ධුර 4 ක්‌ හිමිව තිබූ නමුත් මෙවර ඔවුන්ට හිමි වී ඇත්තේ එක්‌ මන්ත්‍රී ධුරයක්‌ පමණි.

මෙවර පළාත් තුනේම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 60 ක්‌ පමණ ඡන්ද ප්‍රකාශ කර තිබේ. උතුරුමැද පළාතෙන් සියයට 64 ක්‌ ද නැගෙහිර පළාතෙන් සියයට 65.65 ක්‌ ද සබරගමුව පළාතෙන් සියයට 62.70 ක්‌ ද ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඡන්ද විමසීම සිදුකළ දිස්‌ත්‍රික්‌ක හතෙන් පහක්‌ ජයග්‍රහණය කිරීමට සන්ධානයට හැකි විය. ඒ අනුරාධපුර, පොලොන්නරුව, කෑගල්ල, රත්නපුරය හා අම්පාර වේ. එයින් අම්පාර හැර අනෙකුත් දිස්‌ත්‍රික්‌ක හතරේ සියලුම ඡන්ද කොට්‌ඨාසවල ජය සන්ධානයට හිමිවිය. එමෙන්ම මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ක දෙක ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයට හිමි විය.

උතුරුමැද පළාත් සභාව ඉකුත් 2008 පළාත් සභා මැතිවරණය සමඟ සැසඳීමේදී උතුරුමැද පළාත් සභාව සඳහා එජනිසය මෙවර සිය ඡන්ද ප්‍රමාණයත් නියෝජිතයන් ප්‍රමාණයත් වැඩිකර ගැනීමට සමත් වී ඇත. එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉකුත් මැතිවරණයට වඩා ඡන්ද සංඛ්‍යාව හා මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩු වී තිබේ.

සබරගමුව පළාත් සභාවේදී සන්ධානය සිය ඡන්ද සංඛ්‍යාව හා මන්ත්‍රී ධුර ප්‍රමාණය වැඩි කරගෙන තිබේ. එම පළාතේ ද එජාපයට හා ජනතා විමුක්‌ති පෙරමුණට 2008 දී පැවැති ඡන්ද පදනම රැකගැනීමට නොහැකි වී ඇත.

එමෙන්ම අම්පාර, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, අනුරාධපුර නැගෙනහිර, මිහින්තලේ, අනුරාධපුර බටහිර, හොරොව්පතාන, අරණායක, දැදිගම, ගලිගමුව, රක්‌වාන හා රඹුක්‌කන යන ඡන්ද කොට්‌ඨාසවලින් එජනිසය වැඩි ඡන්ද දස දහසකින් ද පොලොන්නරුව, කලාවැව, රත්නපුර, නිවිතිගල, කෑගල්ල යන ඡන්ද කොට්‌ඨාසවලින් පහළොස්‌ දහසකින් ද වැඩි ඡන්ද ලබා ඇත.

දෙමළ ජාතික සන්ධානය පසුගිය 2008 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය එක්‌සත් ජාතික පක්‍ෂය යටතේ තරග කරනු ලැබීය. මෙවර එම පක්‍ෂ වෙන වෙනම තරග කරනු ලැබීය.

එක්‌සත් ජාතික පක්‍ෂය නැගෙනහිර පළාතේ පොතුවිල්, කල්මුණේ, සමන්තුරේ, පදිරිප්පු යන ඡන්ද කොට්‌ඨාසවලින් සිව්වැනි ස්‌ථානයේ පසු වූ අතර දෙමළ ජාතික සන්ධානය මඩකලපුව හා පදිරිප්පු ප්‍රදේශවලදී වැඩිම ඡන්ද ලබාගත්තේය. පදිරිප්පු ඡන්ද කොට්‌ඨාසය වැඩි ඡන්ද 25000 කින් ද දෙමළ සන්ධානය ජය ගත්තේය. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මුතූර්, සමන්තුරේ, කල්මුණේ, පොතුවිල් යන ප්‍රදේශ ජයග්‍රහණය කිරීමට සමත් විය.

නැගෙනහිර පළාත එජනිසය ජයග්‍රහණය කළ අතර එම සන්ධානයේ සාමාජික පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ද මන්ත්‍රී ධුර 07 ක්‌ හිමි විය.

මැතිවරණය පැවැති දිනයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 117 ක්‌ මැතිවරණ කාර්යාලයේ පිහිටු වූ පැමිණිලි ඒකකයට ලැබී තිබේ.

එහි ඡන්ද විමසීමට බලපාන ආකාරයේ කිසිදු පැමිණිල්ලක්‌ නොවූ බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

පසුබිම් වාර්තා – චමින්ද සිල්වා, ප්‍රභාත් විතාන, ප්‍රදීප් සමරකෝන්, අනුරාධපුර – පර්සි කුරුනේරු, ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි, පොලොන්නරුව – කරුණාරත්න ගමගේ, රත්නපුර – තිලකසිරි දෑල බණ්‌ඩාර, ඕපනායක – ජයලත් එම්. විමලසේන, දඩයම්තලාව – පී. ජයසිංහ, අම්පාර – සුසන්ත අමරබන්දු, මඩකලපුව – ජවුµර් කාන්, කෑගල්ල – එම්. බී. පහලවත්ත, වැලිගෙපොල – අජිත් වීරසිංහ