Home » News »

‘ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට ශ්‍රී ලංකාව ආදර්ශයක්‌’ – පොදුරද මඬුලු පාර්ලිමේන්තු සංගම් සමුළුව අමතමින් ජනපති කියයි

 

ලෝක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාව ආදර්ශයක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සංගමයේ පනස්‌ අටවැනි සමුළුව නිල වශයෙන් ආරම්භ කරමින් නෙළුම් පොකුණ රඟහලේදී ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්‌ව ඇතැයි ඇතැම් රටවලින් චෝදනා එල්ල වූ බව ද ඒවාට ශ්‍රී ලංකාව නිසි පිළිතුරු සපයා ඇතැයි ද හෙතෙම කීය.

යුද්ධයකට මැදි වී සිටි මෙරට නැඟෙනහිර පළාතේ ජනතාවට සිය අභිමතය පරිදි ස්‌වකීය නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට මැතිවරණයක්‌ ද පසුගියදා පැවැති බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ඒ ආකාරයෙන්ම උතුරේ ජනතාවට ලබන වසරේදී සිය පළාත් සභාව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට අවස්‌ථාව සපයන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සංගමයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා, පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සංගමයට අයත් රටවල් පනස්‌ හතරේ කථානායකවරු ඇතුළු එම රටවල මැති ඇමැතිවරුන් අටසිය පනහකට ආසන්න පිරිසක්‌ මෙම සමාරම්භක උත්සවයට පැමිණ සිටියහ.

පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සංගමයේ සභාපති කථානායක චමල් රාජපක්‍ෂ මහතා, විධායක කමිටු සභාපති හැසල් හර්ට්‌ මහතා ඇතුළු පිරිසක්‌ විසින් නෙළුම් පොකුණ රඟහල් ශාලාවේ පිවිසුම් දොරටුව ඉදිරිපිට දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නා ලදී.

ජාතික ගීය වාදනය කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ අනුශාසක එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජන විසින් එවා තිබූ සුබ පැතුම් පණිවිඩය කියවන ලදී. ඉන් පසු කථානායකවරයා විසින් සමුළුවට සහභාගි වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගන්නා ලදී.

පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සංගමයේ නියෝජ්‍ය අනුශාසක, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පනස්‌ අටවැනි සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීමේ ප්‍රකාශය ඉදිරිපත් කළේය.

පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සංගමයේ විධායක කමිටුවේ සභාපති ඇලන් හැසල් හර්ට්‌ මහතා සමුළුව ඇමතීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සංගමයේ පනස්‌ අටවැනි සමුළුව ඇමතුවේය.

සමාරම්භක උළෙල අවසන් වූ පසුව සියලු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයෝa ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

Source: Divaina (Sri Lanka)