Home » News »

ඇමැති පුතුන් තමාට පහර නොදුන් බව මේජර් කියයි

 

මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සහ හිටපු ඇමැති මනෝ විඡේරත්න මහතාගේ පුත් රෙහාන් විජේරත්න යන සැකකරුවන් කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී ඇති වූ සිද්ධියේදී තමන්ට පහර නොදුන් බවට මේජර් චන්දන ප්‍රදීප් සූරසේන මහතා ඊයේ (18 දා) කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් කරුණු දක්‌වමින් දන්වා සිටියේය.

කොටුව මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න මහතා හමුවේ නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ මහතා මගින් අධිකරණය වෙත ඉල්ලීමක්‌ ගොනු කරමින් එසේ දන්වා සිටි මේජර්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල සමථයකට පත්කර ගැනීමට සූදානම් බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය බලාපොරොත්තු වන බවත් දිවුරුම් ප්‍රකාශය මගින් ඉල්ලා සිටී.

පැමිණිල්ලට අදාළ සැකකරුවන් ලබන 24 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර එදිනට පෙර පැමිණිල්ල කැඳවන ලෙස නියෝග කරන ලෙස ද ඉල්ලා සිටින මේජර්වරයා එදිනට පෙනී සිටින ලෙසට අදාළ පාර්ශ්වයන්ට සිතාසි නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටී.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල ලබන 24 දා යළි කැඳවන ලෙසත් එදිනට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන මේජර්වරයා ඉදිරිපත් කරන මෙන් අණදෙන නිලධාරි වෙත සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

ඉකුත් 09 දා අලුයම 3.30 ට පමණ කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී මේ සිද්ධිය ඇති වී තිබේ.

සමන්ත ඉලේපෙරුම
Source:  Divaina (Sri Lanka)