Home » Sports »

කැන්ගරු – කොදෙව් තරගය වොට්සන් සහ ගේල් අතර සටනක්

 

ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දියා කොදෙව් පිල අද (5) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී විස්සයි20 ලෝක කුසලාන ත‍රගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට පිවිසෙති.

‍අද තරගය විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් සහ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් අතර ද්වන්ධ සටනක් බවට පත්වෙනු ඇතැයි විචාරකයෝ දැනටමත් අනාවැකි පළකර තිබේ.

ෂේන් වොට්සන් මෙවර තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සහ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර ගේල් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 7වැනි ස්ථානයේ පසුවෙයි.

මෙවර තරගාවලියේ ‍වැඩිම අවධානයකට ලක්වූ ක්‍රීඩකයන් දෙදෙනකු වන වොට්සන් සහ ගේල්ගේ සුපිරි ක්‍රීඩා විලාශය අනුව අද තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරෙනු ඇත.

දෙපිල අතර මේ වනවිට විස්සයි20 තරග 8ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. තරග 3ක ජය බටහිර ඉන්දියා කොදෙව් පිලට අත්විය.

Source: Dinamina (Sri Lanka)