Home » News »

නිලධාරීන්ගේ රට සවාරිවලට වසරකට දස ලක්ෂ පන්සියයක්

 

රාජ්‍ය නිලධාරීන් කිසිදු ඵලදායිතාවයකින් තොර විදේශ ගමන් සඳහා වසරකට රුපියල් මිලියන පන්සියයක පමණ නාස්තිකාර වියදමක් සිදු කරන බව රජයේ විගණන අංශ පෙන්වා දෙයි.

නාස්තිකාර වියදම් වහාම නවත්වාලීමට සහතික වනු පිණිස සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කළ යුතු බවට රජයේ නිලධාරීන්ට ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දැඩි ලෙස උපදෙස් දී තිබේ.

එහෙත් මේ උපදෙස් වලට පටහැනිව යමින් බොහෝ රාජ්‍ය ආයතන විදේශ සංචාර සඳහා විශාල මුදලක් වැය කරයි.

විගණනය පවසන පරිදි රජයට දිය යුතු ආදායම පවා නොදී මග හැර සිටින එක්තරා ආයතනයක් පසුගිය වසර හතරට අවිධිමත් විදේශ සංචාර සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වියදම් කර තිබේ.

තවත් රාජ්‍ය ආයතනයක් දින හතරක විදේශ සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ තිස් හතක් වියදම් කර ඇති බවද හෙළිවී තිබේ.

2012 අප්‍රේල් 9 දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් රාජ්‍ය නිලධාරීන් වෙත යවා ඇති අංක PC MD / AD / 2 / 1 / 1 / 26 දරන චක්‍ර ලේඛනයෙන් එම උපදෙස් ලබාදී ඇත.

එහි දැඩිවම සඳහන් කර ඇත්තේ දෛනිකව සිදුවන සුළු පරිමාණ වුවද එකතුª වූ විට ඉතා විශාල ප්‍රමාණයක් වන නාස්තිකාර වියදම් වහාම නවතාලීමට සහතික වනු පිණිස සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කළ යුතු අතර අත්‍යවශ්‍යවද කාර්යක්ෂමව සහ ඵලදායිතා ලෙසද රාජ්‍ය වියදම් කළමනාකරණය කළ යුතු බවයි.

රජය ලබාදී ඇති එම උපදෙස් වලට පටහැනිව රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම රජයට කරන විශාල හානියක් බව විගණනය පෙන්වා දෙයි.

රාජ්‍ය නිලධාරීන් අතරින් බහුතරයක් යොදාගෙන ඇති විදේශ ගමන් සඳහා රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වැය කර තිබුණද එම සංචාරයෙන් රජයට හෝ මෙරට ජනතාවට අංශු මාත්‍රයක ඵලදායිතාවයක් නොමැති බවද වාර්තා වෙයි.

වැඩි සංචාර ප්‍රමාණයක් විවිධ වූ ප්‍රදර්ශන, උත්සව, සංදර්ශන ආදිය සඳහා වෙයි.

ඇතැම් නිලධාරීන් එවැනි උත්සව සඳහා සහභාගීවීමට ඊමේල් පණිවුඩ යවා ඔවුන් විසින්ම ආරාධනා පත්‍ර ගෙන්වාගෙන ඇති අවස්ථාද වාර්තා වෙයි.

එක්තරා රාජ්‍ය ආයතනයක් එවැනි සංදර්ශනයක් සඳහා සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමට දින හතක වියදම වශයෙන් රුපියල් ලක්ෂ තිස්හතක් වියදම් කර තිබේ.

ඔවුන් එම සංදර්ශනය නැරඹීම තුළින් රජයට සත පහකවත් ප්‍රයෝජනයක් නැතැයි විගණනය පවසයි.

වැඩකට නැති විදේශ සංචාර යොදා ගන්නා ඇතැම් නිලධාරීන් එම සංචාර වැඩකට ඇති ඒවා බව පෙන්වා සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට සහ අදාළ ඇමැතිවරුන්ට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ට විවිධ කරුණු කාරණා ඉදිරිපත් කර ඇති බවට ද විගණනය කරුණු අනාවරණය කර ගෙන තිබේ.

විදේශ ගමන් සඳහා රාජ්‍ය නිලධාරීන් එතරම් විශාල මුදලක් යොදා ගනිද්දී නිලධාරියාට කිසිදු වියදමක් දැරීමට සිදු නොවන ගුවන් කාලය වෙනුවෙන් ද මුදලක් අය කිරීම සිදු කරන බව විගණනය කියයි.

රාජ්‍ය නිලධාරීන් විසින් ම සකස් කළ චක්‍ර ලේඛනයක් මඟින් ගුවන් කාලය සඳහා අය කිරීමේ වරප්‍රසාදය ලබාගෙන ඇතත් එය රාජ්‍ය මුදල් නාස්ති කිරීමක් බව විගණනය පෙන්වා දෙයි.

ඉහත කී විදේශ ගමන්වල යෙදුන ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම සංචාරයෙන් අනතුරුව එම ගමන පිළිබඳ වාර්තාවක් හෝ ඉදිරිපත් කර නැති අවස්ථා සොයාගෙන ඇති බව ද හෙළිවී තිබේ.

මේ ආකාරයෙන් ඵලකට නොමැති විදේශීය සංචාර යොදාගෙන රජයේ මුදල් නාස්ති කළ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ගණනාවක් සම්බන්ධව පරීක්ෂණ සිදු කරන විගණනය ඉදිරියේදී ඊට අදාළ විගණන විමසුම් යැවීමට ද නියමිතව ඇත.

විජයානි එදිරිසිංහ

Source: Dinamina (Sri Lanka)