දේශපාලකයා තම ගරුත්වයට හානි කර ගත්තොත් සමාජයට සිදුවන්නේ විශාල හානියක් – ජනාධිපතිතුමා

සමාජයේ ජීවත්වන විට එකිනෙකාගේ ස්වාධීනත්වයට හා පෞද්ගලිකත්වයට ගරු කළ යුතු අතර එසේ නොමැති නම් සමාජයේ කඩා වැටීමක් සිදුවිය හැකි බවත් ඊට කිසිසේත් ඉඩදිය නොහැකි බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ අන්තර්ජාතික පොල් වගා දිනය සැමරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ දී සිකුරාදා (12) පැවැති උත්සවයේදී ය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිතුමා පැවසුවේ දේශපාලනඥයා තම වගකීම හරි හැටි ඉටු නොකොට තම ගරුත්වය විනාශ කර ගතහොත් වෘත්තිකයා තම ගරුත්වය විනාශ කර ගතහොත් ඒ සමාජයට විශාල හානියක් වන බවයි.

සමාජයේ ජීවත්වීමේ දී එකිනෙකාට ගරු කරමින් එකිනෙකාගේ ස්වාධීනත්වයට හා පෞද්ගලිකත්වයට ගරු කරමින් කටයුතු කළ යුතු බවත් කීය. සමාජයේ වෘත්තීමය ගෞරවය රැකගන්නා වූ ආයතන කෙරෙහි රටේ ජනතාවගේ විශාල ගෞරවයක් තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා ඒ ගරුත්වය නැති වෙන ආකාරයට ඇතැමුන් ක්‍රියාත්මක වන බව කීය.

Source: Silumina (Sri Lanka)