හයිඩ් පිටියේ රැලියෙන් එජාපයේ අලුත් අර්බුද

සරත් ෆොන්සේකා මහතාගේ මූලිකත්වය ඇතිව එක්‌සත් භික්‍ෂු පෙරමුණ විසින් කොළඹ හයිඩ් පිටියේදී මෙම 18 වැනිදා පවත්වන ඒකාබද්ධ රැලියට සහභාගිවීම තහනම් කිරීම මගින් තම පක්‍ෂයේ යළි නව අර්බුදයක්‌ උද්ගතව ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු අනතුරු අඟවති.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, සාධාරණ සමාජයක්‌ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ස්‌ථාපිත කරන ලෙසට රජයට බලකරමින් මෙම රැලිය සංවිධානය කරන්නේ සරත් ෆොන්සේකා මහතා නොව එක්‌සත් භික්‍ෂු පෙරමුණ බව ද එය මෙහෙයවන පිරිස පෙන්වා දෙති.

එහෙත් මෙම රැලියට සහභාගි වන එජාප මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් ගෙන ඇති තීරණය තමන් පිළිනොගන්නා බව ද එනිසා අනිවාර්යයෙන්ම 18 වැනිදා හයිඩ් පිටියට තමන් යන බව ද එජාප මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ පවසා සිටිති.

කරු ජයසූරිය, පාලිත රංගේ බණ්‌ඩාර, අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම මෙම රැලියට සහභාගි වන බව ස්‌ථීර කර සිටිති. ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් ගණනාවක්‌ මේ සඳහා සහභාගි වනු ඇතැයි පාලිත තෙවරප්පෙරුම මහතා “දිවයින” ට කීවේය.

ඊට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ ද අද විශේෂ සාකච්ඡාවක්‌ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්‌තිලක මහතාගේ කාර්යාලයේදී පැවැත්වේ. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක්‌ ද මෙම රැලියට අනිවාර්යයෙන්ම සහභාගි වන අතර එක්‌සත් ජාතික පක්‍ෂයට සහය දක්‌වන වෘත්තීය සමිති ද මේ සඳහා එකඟත්වය පළ කර ඇත.

තමන් මෙම රැලියට එක්‌වන්නේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත බව පැවසූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ වන විට බෞද්ධ පදනම පක්‍ෂයෙන් ඈත්වෙමින් තිබෙන බව ද කීහ.

කිසිදු මන්ත්‍රීවරයකු බැඳ තබා ගැනීමට පක්‍ෂ නායකත්වයට නොහැකි බව ද තමන්ට අවශ්‍ය දේශපාලනය කිරීම සහ රටේ බලය ලබාගැනීම බව ද කී එජාප මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කවුරු නොගියත් තමන් 18 වැනිදා හයිඩ් පිටියේ රැලියට සහභාගි වන බව කීය.

කෘත්‍යාධිකාරී මණ්‌ඩලය කවර තීරණයක්‌ ගත්තත් තමන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ මෙම රැලියට සහභාගි වන බව පුත්තලම දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා “දිවයින” ට ප්‍රකාශ කළේය.

මේ අතර හයිඩ් පිටියේ රැලියට සහභාගි වන බවට මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විසින් ගෙන ඇති තීරණය පිළිබඳ අදහස්‌ දක්‌වමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා මෙසේ කීය.

“පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය පසුගිය සිකුරාදා තීරණයක්‌ ගත්තා. කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ බහුතරයකගේ තීන්දුව වුණේ 18 වැනිදා හයිඩ් පිටියේ රැස්‌වීමට සහභාගි වන අපේ මන්ත්‍රීවරුන් පිළිබඳ දැඩි විනය ක්‍රියාමාර්ගයක්‌ ගත යුතු බවයි. ඒ අනුව එසේ සහභාගි වන අයට එරෙහිව අපි විනය පියවර ගන්නවා…”

Source: Divaina (Sri Lanka)