අත්පා බැඳ වෙඩි තබා ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කර තිබු තරුණයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (04 වැනිදා) පෙරවරුවේ පෝද්දල, බලගොඩ වල්පිට වතුයායේදී පෝද්දල පොලිසිය මගින් සොයා ගෙන ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිලාන, වාමාවල පදිංචිව සිටි අමිල නිශාන්ත (34) ගාල්ල, ඇත්තිලිගොඩ පදිංචිව සිටි ජයසේකර මොහොට්ටි නිශාන්ත හෙවත් චූටි, ගාල්ල, මොරිස් පාරේ පදිංචිව සිටි ජානක පුෂ්පකුමාර, ඇත්තිලිගොඩ පදිංචිව සිටි මලික් මධුසංඛ නමැති සිව්දෙනෙකි.
වෙනත් ස්ථානයකදී අත්පා ගැටගසා මුහුණ වසා පිස්තෝලයකින් වෙඩි තබා මේ තරුණයින් ඝාතනය කර මළ සිරුරු පෝද්දල, බලගොඩ වල්පිට වතුයායට රැගෙන විත් දමා පලායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මීට දින කීපයකට ඉහතදී ගාල්ල නගරයේදී ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කොට තිබූ අතර ඝාතනයට ලක්වූ පිරිස ඊට සම්බන්ධ බවට පොලිසිය සැකකරයි.
එම ව්‍යාපාරිකයාගේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් මෙම පුද්ගලයින් සිව්දෙනා ඝාතනය කරන්නට ඇතැයිද පොලිසිය කියයි.
මේ ඝාතන කිසියම් පාතාල කල්ලියක් විසින් සිදු කළේද? පාතාල කල්ලි අතර ගැටුමක් හැටියට මෙම ඝාතන සිදුවූයේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
මළ සිරුරු හමුවු ස්ථානයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේම පරීක්ෂණ ආරම්භ කළහ.
ඝාතනයට ලක් වු ඇත්තිලිගොඩ පදිංචිව සිටි ජයසේකර මොහොට්ටි හෙවත් චූටි නමැත්තාගේ නිවසේ පෙරේදා (3 දා) රාත්‍රි උපන් දින සාදයක් තිබී ඇති අතර ඒ සඳහා ඝාතනයට ලක්වු අනෙක් තිදෙනාද පැමිණ තිබේ.
උපන් දින සාදය අතරතුරේ ජයසේකර මොහොට්ටි හෙවත් චූටි නමැත්තාට පොලීසියෙන් බව පවසා දුරකථන ඇමතුමක් ලැබී ඇත. ගාල්ල දක්ෂිණ නාවික කඳවුර අසලට පැමිණෙන ලෙසට ඔහුට එම දුරකථන පණිවුඩයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව චූටි නමැත්තා හා ඔහුගේ අනෙක් මිතුරන් තිදෙනා එම ස්ථානයට යමින් සිටියදී ඝාතනයට ලක්වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඝාතනයට ලක්වූ සිව්දෙනාගේ මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණ බද්දේගම වැඩබලන මහෙස්ත්‍රාත් බුද්ධික, එදිරිසිංහ මහත්මිය හමුවේ ඊයේ පැවැත්විණි.
මේ පිළිබඳව ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Source: Divaina (Sri Lanka)
Photo’s courtesy of Divaina (Sri Lanka)