ලෝක ශූරතාවලියට සුදුසුකම් නොලැබීමෙන් අපේ රගර් ක්‍රීඩාවේ ප්‍රමිතිය පහළ වැටුණේ නෑ – රගර් සංගමයේ ලේකම්

ශ්‍රී ලංකා රගර් පිල සිංගප්පූරු සෙවන්ස් රගර් තරගාවලියේ කුසලාන වටයේ දී පරාජයට පත්වී ලබන වසරේ පැවැත්වෙන ලෝක ශූරතා සත් සාමාජික රගර් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවූවත් ඉන් මෙරට රගර් ක්‍රීඩාවේ ප්‍රමිතියේ පහළ වැටීමක් සිදුනොවුනු බව ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස් මහතා දිනමිණට පැවැසීය.

සිංගප්පූරු සෙවන්ස් තරගාවලියේ කුසලාන තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාව දකුණු කොරියාව හමුවේ පරාජයට පත්විය. ඒ අනුව ලබන වසරේ ‍රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන ලෝක ශූරතා සත් සාමාජික රගර් තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන රටවල් 3 අතරට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය.

කෙසේවූවත් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ‘සිංගප්පූරු තරගාවලියේ දී අපි දකුණු කොරියාවට පරාජය වුණේ ඉතා තියුණු තරගයකින් පසුවයි. නමුත් ‍ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවීමටත් වඩා අපි සිතන්න ඕනා අපේ කණ්ඩායම ආසියානු සත් සාමාජික රගර් ඉතිහාසයේ පළමු වරට වසරක් ඇතුලත ශූරතා 4ක්ම දිනාගැනීමට තරම් දස්කම්වලින් ඉහළ ස්ථානයක සිටින බව.මේක අපේ රගර් ඉතිහාසයේ ලොකු විප්ලවයක්.’ ඉල්යාස් මහතා පැවැසීය.

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ බෝර්නියෝ සෙවන්ස් හී බඳුන ශූරතාවත්, ෂැංහායි සහ මුම්බායි සෙවන්ස් හී පළඟ ශූරතාවත්, ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සිංගප්පුරු තරගාවලියේ දී නැවත පළඟ ශූරතාවත් ශ්‍රී ලංකා පිල හිමිවූයේ ලෝක ප්‍රකට ක්‍රීඩක බෙන් ‍‍ගොලින්ස්ගේ පුහුණුකාරත්වය යටතේය. කෙටි කාලයකට ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු ලෙස පත්වූ ගොලින්ස්ගේ ගිවිසුම් කාලය පිළිබඳව ද ලේකම්වරයා සිය අදහස් පළකළේය.

‘ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ පුහුණුකරු ලෙස ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයකු පත් කිරීමේ රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ සංකල්පය නිසා තමයි අපි ගොලින්ස්ගේ සහාය ලබාගත්තේ.  එය ඉතා සාර්ථක සංකල්පයක් වුණා. ඒ වගේම ‍මීට පෙර ලෝකයේ විශිෂ්ටතම සත් සාමාජික ක්‍රීඩකයකු ලෙස නම් දැරූ ගොලින්ස් විශිෂ්ටතම පුහුණුකරුවකු බවට ලෝකයා අතරට ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම හරහායි.  ඒ පිළිබඳව ඔහුත් සතුටට පත්වුණා. ඔහුගේ පුහුණුකාර වෘත්තීය සාර්ථක වීමට ශ්‍රී ලංකා කණ්ඩායම විශාල පිටුවහලක් වූ බව ඔහු ප්‍රකාශ කළා.

ඉදිරියේදිත් ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ගොලින්ස් කැමැත්ත පළකොට තිබෙනවා. අපේ ඉදිරි සැලසුම් අනුව ඒ සම්බන්ධව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.’ ඉල්යාස් මහතා කීවේය. ‘මෙරට රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධියට අතහිත දෙමින් ජාතික රගර් පිලටත්, අන්තර් සමාජ රගර් තරග ක්ෂේත්‍රයටත් අනුග්‍රහකත්වය ලබාදීමට ඩයලොග් සමාගම ඉදිරිපත්වීමත් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. ඇත්තටම ඔවුන්ගේ සහයෝගය මේ ජයග්‍රහණයට විශාල අත්වැලක් වුණා.’ ඉල්යාස් මහතා සඳහන් කළේය.

Source: Dinamina (Sri Lanka)