රැඳවියෝ ආයුධ ගබඩාව බිඳ පාලනය සියතට ගනිති දෙපැත්තෙන්ම වෙඩි, නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ඇතුළු 13 දෙනකුට තුවාල

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ පොලිස්‌ විශේෂ බළකායේ නිලධාරීන් පිරිසක්‌ අතර ඊයේ (09 වැනිදා) සවස ඇති වූ ගැටුමකින් පොලිස්‌ විශේෂ බළකායේ නියෝජ්‍ය පොලිස්‌පති ආර්. රණවන මහතා ඇතුළු නිලධාරීන් 08 දෙනකු, බන්ධනාගාර නිලධාරියකු, මාධ්‍යවේදීන් දෙදෙනකු සහ සිවිල් වැසියකු තුවාල ලබා ජාතික රෝහල්ගත කර ඇත.

මෙම තුවාල ලැබූවන් 13 දෙනාගෙන් කිහිපදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරය පරීක්‍ෂා කිරීම සඳහා ඊයේ (9 දා) දහවල් එහි ඇතුළු වූ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ සහ බන්ධනාගාර රැඳවියන් අතර ඇති වූ ගැටුමක්‌ නිසා මොවුහු තුවාල ලැබූහ.

මෙම ගැටුමින් බන්ධනාගාරය සහ අවට ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත්විය.

බන්ධනාගාරයට ඇතුළු වූ සන්නද්ධ විශේෂ කාර්ය බළකා නිලධාරීන් මුලින්ම එහි “එල්” වාට්‌ටුව පරීක්‍ෂා කර පසුව විශේෂ සිරකරුවන් රඳවා සිටින “චැනල්” වාට්‌ටුවට ගොස්‌ එහි සිටි රැඳවියන්ට අත් මාංචු දමා පරීක්‍ෂා කිරීමට යැමේදී තමන්ට අත් මාංචු දැමීම පිළිබඳව රැඳවියන් විරෝධය පළ කර තිබේ.

ඒ අවස්‌ථාවේ සිරකරුවන් සහ විශේෂ බළකා නිලධාරීන් අතර බහින් බස්‌ වීමක්‌ සිදුව ඇති අතර පසුව එය ගැටුමක්‌ දක්‌වා වර්ධනය වී ඇත.

එම ගැටුමත් සමඟ ඒ වන විට විවිධ වැඩ අංශ සඳහා යොදවා සිටි සිරකරුවන් ප්‍රකෝපකාරීව හැසිරෙමින් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහර දීමට පටන්ගෙන ඇත. එහිදී නිලධාරීන් ද සිරකරුවන්ට පහර පිට පහර එල්ල කරමින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණ තිබේ.

පසුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් බන්ධනාගාරය තුළට දැවැන්ත කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කරන්නට පටන්ගෙන ඇති අතර ඒ සමඟ බන්ධනාගාරයේ ඇතුළත යකඩ දොර ද බිඳ දැමූ සිරකරුවන් සම්පූර්ණ බන්ධනාගාරයේ පාලනය සියතට ගෙන එහි ආයුධ ගබඩාව ද කඩා සියතට ගිනි අවි ගෙන ඇත. පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විට රැඳවියන් පොලිසියට එරෙහි ප්‍රහාරයකට සූදානමින් සිටින්නට විය.

Source: Divaina (Sri Lanka)