කහවත්ත දිවුල්වල ප්‍රදේශයේ ඕපාත වත්තට යාබදව පිහිටා තිබූ නිවසකට පෙරේදා (10 දා) රාත්‍රියේ ඇතුළු වූ සාහසිකයකු එම නිවසේ පදිංචිව සිටි තරුණ යුවළකට ඉතා දරුණු ලෙස කඩුවකින් පහර දී පලාගොස් තිබේ. මෙම දෙදෙනා ඝාතනය කිරීමට සාහසිකයා ගත්a උත්සාහය ව්‍යර්ථ වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මේ සිද්ධියෙන් දරුණු ලෙස තුවාල ලැබූ ජී. ඩී. අමරසිරි (28) නමැති අය සහ ඔහුගේ බිරිඳ කේ. එල්. දිල්හානි (27) දෙදෙනා ප්‍රදේශවාසීන් එක්ව කහවත්ත රෝහලට ද අනතුරුව රත්නපුර මහ රෝහලට ද ගෙන ගොස් තිබේ. ඔවුහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ දෙදෙනා හට පහර දෙන අවස්ථාවේ සිව් හැවිරිදි දියණිය ද නිවසේ නිදාගෙන සිට තිබේ. තුවාල ලැබූ අමරසිරි මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර ඇත. ඔහු සාහසිකයාට පහර දීමට උත්සාහ කර ඇති බවත් ඉන් අනතුරුව සාහසිකයා අත තිබූ කඩුව සහ ඔහු රැගෙන එන ලද විදුලි පන්දම ද දමා පලාගොස් ඇති බවත් තුවාලකරු කෙටි දුරක් ඔහු ලුහුබැඳ ඇති බවත් පොලිසිය පවසයි. සිද්ධිය වූ නිවසේ ජනෙල් තාවකාලිකව පොහොර බෑග්වලින් ආවරණය කර තිබේ. ඉදිරි දොර අසල තිබෙන ජනේලයේ ආවරණය විවර කර සාහසිකයා නිවසට ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම සිද්ධිය කහවත්තේ සිදු වූ අනෙක් අබිරහස් ඝාතනවලට සම්බන්ධයක් තිබේදැයි බුද්ධි අංශවල දැඩි අවධානයට ලක්ව ඇත.
මෙම යුවළ හා විශේෂ ආරවුලක් හෝ තරහකරුවන් නොමැති බවත් තුවාල ලැබූ අමරසිරි මහතා ගොඩනැඟිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් කටයුතු කරන බවත් ඔහුගේ මාමණ්ඩිය වන කේ. එල්. කරුණාරත්න නමැති අය පවසයි.
අපරාධය සම්බන්ධයෙන් තොරතුරු සහ සාහසිකයා සොයා ගැනීමට ඊයේ (11 දා) අලුයම සිට පොලිස් නිලධාරීහු සහ බුද්ධි අංශ කටයුතු කරති. මේ සඳහා රත්නපුර පොලිසියේ නිල සුනඛ “රොකී” යොදාගෙන තිබේ.
සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණියේය. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. ඒ. ඩී. එන්. රංජිත් පත්මසිරි, සහකාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරිය, පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ (කොළඹ අපරාධ කොට්ඨාස) සහ කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරන්ජන් අබේවර්ධන, ප්‍ර.පො.ප. අතුල පෙරේරා යන මහත්වරු ද පරීක්ෂණ සඳහා සම්බන්ධව සිටිති. මේ සම්බන්ධයෙන් විවිධ හෝඩුවාවන් මත තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය කියයි.