මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදවැටෙන රතු පැහැති වැස්ස ඇතමුන් හඳුන්වන්නේ බියකරු විපතක පෙර නිමිත්තක් ලෙසය. රතු වැස්ස ස්වාභාවික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් මිස ලෝක විනාශයේ ආරම්භය හෝ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් හෝ නොවන බව දැන් පැහැදිලි කර හමාරය.
සොබාදහමේ ක්රියාකාරීත්වයන් නිසි ලෙස අවබෝධ කර නොගෙන කටයුතු කිරීම රටක සමාජයක ඉදිරි ගමනට විශාල බාධාවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පවසයි. රතු වැස්සත් සොබාදහමේ ක්‍රියාදාමයන් සහ ලෝක විනාශය ගැනත් දිවයින ඉරිදා සංග්‍රහය මහාචාර්ය එපිටවත්ත සමග කළ සාකච්ඡාවකි මේ.
මොකක්ද මේ එක එක පළාත්වලට වැටෙන රතුපාට වැස්ස?
වැස්ස කියන වචනය අපි පාවිච්චි කළාට හරි වචනය වර්ෂණය කියන එක. වැස්ස ප්‍රධාන වශයෙන් ක්‍රම 3 කට වැටෙනව. අයිස් විදිහට, වතුර විදිහට සහ හිම විදිහට. වතුර විදිහට වැටෙනකොට අපි එය හඳුන්වන්නේ වැස්ස කියල. ඒ වැස්සම අයිස් විදිහට හිම විදිහට වැටෙනකොට අපි එය හඳුන්වන්නේ වර්ෂණය කියල. මේ මොන විදිහට වැස්ස වැටුණත් මේවායේ තියෙන රසායනික කොටස්වල සහ ඒවායේ අඩංගු ජීවමය කොටස්වල සෑමවිටම කිසියම් සංයුතියක් තියෙනවා. ජලය H2O විදිහට අපි හැඳින්වූවට මේ වයේ සංයුතිය H2O විතරක්ම නෙමෙයි. දූවිලි අංශු, වෙනත් රසායනික කාරක හෝ විවිධ ක්ෂුද්‍ර ජීවීන් මේ වැසි ජලයේ අඩංගු වෙන්න පුළුවන්.
වැහි වළාවක් තුළ ජලය වගේම දූවිලි අංශු විවිධ රසායනික ද්‍රව්‍ය වගේ ක්ෂුද්‍ර ජීවීනුත් අඩංගුයි. වළාකුළු තුළ මේ ක්ෂුද්‍ර ජීවීන් වැඩෙනවා. වර්ධනය වෙනව. මේවා තුළ ඇහැට නොපෙනෙන වගේම පෙනෙන ජීවිනුත් ඉන්නව. වර්ෂාවක් වැටෙන විට මේ ජීවිනුත් පොළොවට වැටෙනව. මේ ජීවීන්ගේ ක්රියාකාරීත්වයන් නිසා වළාකුළු තුළ ඇති ජලය විවිධ පැහැයන් ගන්න පුළුවන්.
මෙය අලුත් දෙයක්ද මෙබඳු වර්ණවත් වැහි වැටුණු අවස්ථා මෙයට පෙරත් තියෙනවද?
ලෝකයේ ඇති සියලුම වළාකුළු වර්ගීකරණය කර දක්වා ඇති වළාකුළු සිතියම් පොතේ (ක්ලවුඩ්ස් ඇට්ලස්) මේ වර්ණ වැසි ගැන සඳහන් කර තිබෙනවා. මෙය අනාදිමත් කාලයක සිට සිදුවූ ක්‍රියාවලියක්. අමුතු සිදුවීමක් නෙමෙයි. වැටෙන වතුරේ වර්ණයේ වෙනසක් කලාතුරකින් සිදුවුණාට හැමදාම වැටෙන සාමාන්‍ය වැස්ස ගැන වුණත් පර්යේෂණ කරල බැලුවොත් ඒ වැටෙන්නෙත් එකම වැස්ස නෙමෙයි. රසායනික සංයුතිය වෙනස්. ඒ අනුව ලැබෙන ප්‍රතිචාරයත් වෙනස්. සමහර කාලවලට වැසි වැටුණම තණකොළ හොඳට වැවෙනවා. ඒ වැසි ජලයේ තියෙන යම් රසායනික සංයෝගයක් තණකොළවල වැඩීම ශීඝ්‍ර කළා වෙන්න පුළුවන්. දැන් මේ රටේ තැන් තැන්වලට වැටෙන රතුපාට වැස්සේ කවර ක්ෂුද්‍ර ජීවියෙක් ඉන්නවාදැයි මට කියන්න බෑ. නමුත් මේ වැස්සෙත්a රතුපාටට හේතුව නම් අනිවාර්යයෙන්ම දූවිලි, රසායනික සංඝටක හෝ ක්ෂුද්රජීවී ක්රියාකාරීත්වයක්. එසේම පසුගිය කාලයේ බෙංගාල බොක්කේ ඇති වූ අවපාත තත්ත්වයන් හේතුකොට ගෙන මුහුදේ ඇති විවිධ ඇල්ගී වර්ගයේ ශාක ජලය සමග අහසට ඇදී ගොස් එම රතු ඇල් ගී විශේෂ නිසා වැසි ජලය රතුපාට වෙන්නත් පුළුවන්.
මේ අවුරුද්දෙ අවසාන භාගයේ සිදුවෙතැයි කියන ලෝක විනාශයක් ගැන සෑහෙන කාලෙක ඉඳන් අනාවැකි කියපු අය ඉන්නව. මේ රතු වැස්සත් එබඳු මහා විනාශයක ආරම්භයක් විදිහට විග්රහ කරන අයත් ඉන්නව. පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක්ද යන සැකයකුත් මේ පිළිබඳව මතු වුණා. මේ සැක සංකාවලට ඇතමුන් යොමුවෙන්නේ ඇයි? එබඳු පූර්ව නිගමනවලට බලපෑ හැකි යම් විද්‍යාත්මක පදනමක් තිබෙනවාද?
ස්වාභාවික සංසිද්ධීන් ඇසුරෙන් මිථ්‍යා කතා ගොඩනැඟුනෙ අද ඊයේ නොවෙයි. යුරෝපය තුළත් මෙබඳු මිථ්‍යා ප්රබන්ධවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනව. වර්තමාන භූ රූප නිර්මාණය වුණේ මහා ජල ගැල්මකින්ය යන විශ්වාසයක් 16, 17 වැනි සියවස්වල යුරෝපයේ පැතිරුණා. බයිබලයත් එයට මූලාශ්‍ර සපයා තිබුණා. ඒ නිසා එබඳු ජල ගැල්මක් සිදු වී ඇති බව ඔප්පු කරන්න ඒ යුගයේ කතෝලික පල්ලි පර්යේෂණ පවා පැවැත්වූවා. නමුත් භූ රූප විද්‍යාව විෂයයක් හැටියට දියුණු වීමට එය හුඟක් උපකාර වුණා. බුදුදහමේ මුරුගසන් වර්ෂාවක් ගැන සඳහන් වෙනව. එම වැස්සට තෙමුණට පස්සෙ අතට අහුවෙන ඕනම දෙයක් ආයුධයක් ලෙස පාවිච්චි කරල එකිනෙකා මරා ගැනීමෙන් ලෝක විනාශය සිදුවන බවත් කියනවා. වැස්ස පිළිබඳ අතීතයේත් මෙබඳු විශ්වාස තිබුණා. හැමදාම වැටෙන සාමාන්‍ය වැස්ස ගැන තැකීමක් නැති වුණාට රතුපාට කහපාට වගේ වර්ණවත් වැස්සක් වැටෙන විට වැස්ස ගැන තියෙන ඒ අතීත විශ්වාස පදනම් කරගෙන මේ පාට වැහි ගැනත් නොයෙක් අර්ථකථන කරන්න ජනතාව පෙළැඹෙනවා. පාසල්වල, විශ්වවිද්‍යාලවල භූගෝල විද්‍යාව විෂයයක් හැටියට ඉගැන්නුවෙ ස්වභාව ධර්මයේ මේ සංසිද්ධීන් දිහා විද්‍යාත්මකව බලන්න හුරු කරන්නයි. අද පාසල්වල හෝ විශ්වවිද්‍යාල සිසුන්ට එබඳු දැනීමක් අවබෝධයක් ලබා දෙන්නේ නෑ.
අද බොහෝ දෙනකුගේ මතය වෙලා තියෙන්නේ මේ ස්වාභාවික විපත් බහුල කාලයක් කියලයි. එහෙම නිගමනය කිරීම හරිද එබඳු කාල වකවානු ඉතිහාසයේත් තිබුණද?
මේ ස්වාභාවික විපත් බහුල කාලයක් ලෙස නිගමනය කරන්න කිසිදු විද්‍යාත්මක පදනමක් නෑ. මිනිහකුගේ ආයු කාලයත් එක්ක සංසන්දනය කරන විට පෘතුවියේ ආයු කාලය වසර බිලියන ගණනක්. වසර හැටක හැත්තෑවක කාලයක් තුළ අත්දකින සිද්ධි දාමයක් තුළින් වසර මිලියන ගණනක ක්රියාකාරීත්වයක ස්වභාවය නිගමනය කරන්න පුළුවන්ද? පසුගිය වසර සියය තුළ වියළි හා තෙත් කාලගුණ තත්ත්වයක් අපේ රට තුළ ඇතිවීමේ රටාව පිළිබඳ ශිෂ්‍යයන් කණ්ඩායමක් සමග මම පර්යේෂණයක් කළා. වසර දෙක තුනකට පසු නැවත වසරකට හමාරකට පසු ආදි වශයෙන් අහඹු ලෙස පැහැදිලි වියළි සහ වර්ෂා අධික කාලගුණ තත්ත්වයන් අපේ රට තුළ ඇති වී තිබෙනව. පසුගිය අවුරුදු 200 තුළ ලෝකයේ කුඩා අයිස් යුග දෙකක් ඇතිවී තිබෙනව. මිනිසකුගේ ජීවිත කාලය තුළ ඔහුට සුනාමියක් හෝ ප්‍රබල භූමිකම්පාවක් අලුත් අත්දැකීමක් වුණාට පෘථිවියේ ජීවිත කාලයට අනුව ඒවා විරල දේවල් නෙමෙයි. මෙසපොටේමියානු සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරවලට අනුව බැලුවත් මිනිස් ශිෂ්ටාචාරය තවම වසර හය දහසකට වඩා පැරැණි නැහැ. එයිනුත් ලිත සාක්ෂි තියෙන්නෙ වසර කීයකටද ඒ ලිත සාක්ෂි අනුව බැලුවත් වසර බිලියන ගණනක් පැරැණි පෘථිවියේ ස්වාභාවික ක්රියාකාරීත්වයේ ස්වභාවය පිළිබඳ නිවැරැදි නිගමනයකට එළඹෙන්න පුළුවන්කමක් නෑ. පෘථිවිය කියන්නෙ අති දැවැන්ත පරිසර පද්ධතියක්. එහි ක්රියාකාරීත්වයේ ස්වභාවය හඳුනා ගෙන නිවැරැදිව අනාවැකි කියන්න තවම කාටවත් බෑ.
නමුත් අද ගංවතුරෙන් නාය යැම්වලින් සුළි සුළංවලින් භූමිකම්පාවලින් ලෝකය පුරාම ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වෙන බව පෙනෙන්නට තිබෙනව. මේ නිසාම ස්වාභාවික විපත් වැඩිකාලයක් විදිහට බොහෝදෙනා මේ කාලය හඳුන්වනව?
අද වෙන්නෙ ස්වාභාවික විපත් වැඩි වශයෙන් සිදුවීම නෙවෙයි. ස්වාභාවික විපත් සිදුවිය හැකි ප්‍රදේශවල අද ජීවත් වන පිරිස වැඩියි. ජල ගැලීම් – නාය යැම් ඇතිවිය හැකි ප්‍රදේශ ජනාවාසවලට සුදුසු නැහැ.
අපේ රටේ තත්ත්වය දෙස බැලුවොත් අද ගෙවල් දොරවල් තියෙන ප්‍රදේශවලින් අටෙන් එකක් ඒ සඳහා නුසුදුසු ප්රදේශයි. රටේ බොහෝ තැන්වල ජලය බැස යැමට තිබූ ස්ථාන පස්වලින් පුරවල ගෙවල් හදල තියෙනව. ජල ගැල්මකදී මේ ප්‍රදේශ අනිවාර්යයෙන්ම යටවෙනව. නාය යැමේ තර්ජනයට ලක් වූ ප්‍රදේශවල ගෙවල් හදල තියෙනව. අධිවේගී මාර්ග ඉදිකරල තියෙනව. සොබා දහමේ ක්‍රියාකාරීත්වයෙන් එයට ඇතිවන බලපෑම නිසි ලෙස අවබෝධ කරගෙන ඒ කටයුතු සිදු කළා නම් ජල ගැලීම් නිසා වන හානිය අවම කර ගන්න තිබුණා. අපේ රටේ අද මේ සිදුවෙන්නෙ මීට අවුරුදු දෙසීයකට පමණ පෙර ජර්මන් ජාතික භූ විද්‍යාඥ එල්ස්වර්ක් හන්ටින් කියපු දේ. මිනිසා ස්වාභාවික පරිසරයේ සීමාවලින් ඔබ්බට ගියොත් එහි ප්‍රතිඵල ඔහුටත් ඔහුගේ පරම්පරාවටත් විඳින්නට සිදුවෙනවා. තෙත් කලාපයේ වෙරළබඩ ප්‍රදේශවල මිනිසුන්ට පදිංචි වෙන්න සිදු වුණා. වැඩිදෙනකුට බරවා හැදුනා. වියළි කලාපයට ගිහින් ගොවිතැන් කළා. මැලේරියාව හැදුන. නගර නිර්මාණය කළා. කුණු කසළවලට කරන්න දෙයක් නැතිවුණු නිසා ඩෙංගු හැදුණා. ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාවත් සොබාදහමේ ක්‍රියාදාමය හමුවේ අසරණයි.
අද සමහරු ලෝකය විනාශ වෙන දිනය වගේම ලෝකය විනාශ වෙන විදිහ ගැනත් අනාවැකි කියනව. මේ කාරණා පිළිබඳ ජනතාවගේ අවධානය අනවශ්‍ය ලෙස යොමු කිරීම රටක සමාජයක ඉදිරි ගමනට බාධාවක් නොවෙයිද?
සොබාදහමේ සුවිශේෂ ක්‍රියාදාමය එනම් සුළං ඇතිවීම, වර්ෂාව, හිමපතනය, භූමිකම්පා, සුනාමි ආදිය පිළිබඳ නිශ්චිත අනාවැකි කියන්න බෑ. ඒ අනාවැකි විහිළුවක් පමණයි. නමුත් ඉදිරි අවුරුදු සියය හෝ දෙසීය තුළ ලෝකයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. සොබාදහමේ අතීත ක්රියාකාරීත්වයන් දෙස බලල කොපමණ ආකෘති හැදුවත් ඒ ඇසුරින් වුවත් ලෝකයේ අනාගත ක්‍රියාකාරිත්වයේ ස්වභාවය නිශ්චිතව කියන්න බැහැ. එයට හේතුව පෘථිවිය චලනය වන වස්තුවක්. ඒ අනුව ඊළඟ මොහොතේ සිදුවිය හැකි ක්රියාකාරීත්වයේ වෙනස හරියටම නිගමනය කරන්න අමාරුයි. ලෝකයේ අනාගත ක්‍රියාකාරීත්වය නිශ්චිතව පුරෝකථනය කළ හැකි ක්‍රමයක් කිසියම් පුද්ගලයෙක් සොයා ගත්තොත් ඔහු ඒ හැකියාව අනිත් මිනිසාට එරෙහිව අති දැවැන්ත බලවේගයක් ලෙස පාවිච්චි කරනව. මං හිතන්නේ ලෝක විනාශය ඇරඹෙන්නෙ අන්න එදාටයි.
සාකච්ඡා කළේ – පාලිත සේනානායක
Source: Divaina (Sri Lanka)