දෝෂාභියෝගය සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමේ හෝ නොකර සිටීමේ හෝ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව වාරිමාර්ගය හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධ යෝජනාව දැනටමත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පක්ෂ නායකයන්ගේ සාකාච්ඡාවකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාදයට දිනයක් නියම කිරීමට හැකි බවත් විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වුවහොත් යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බවත් ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පැහැදිලි කිරීම සඳහා කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දෝෂාභියෝග චෝදනා විමර්ශනයේදී ආණ්ඩුව නිවැරැදිව කටයුතු කර තිබෙනවා. මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ අත්සනින් දෝෂාභියෝග චෝදනාව ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට කතානායකතුමා කමිටුවක් පත් කළා. ඒ කමිටුව වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාව ගැන ඕනෑ කෙනකුට ඕනෑම අදහසක් දරන්නට පුළුවන්. නමුත් ක්‍රමවේදය හෝ කමිටුව සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන්නට බැහැ. දැන් මේ යෝජනාව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ යෝජනාවක් ඉවත දැමීමට ජනාධිපතිතුමාට පුළුවන් කියා මා හිතන්නේ නැහැ. යැයි ඇමැතිවරයා පැවසීය.
වාර්තාව සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් ඇති වීම හොඳයි. එය ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමට හේතුවක්. මේ කමිටුවේ කාර්යයභාරය දැන් අවසන්. තවදුරටත් කමිටුවක් නැහැ. නැති කමිටුවකට නොතීසි නිකුත් කරන්නටත් බැහැ. එදා නෙවිල් සමරකෝන් මහතාගේ දෝෂාභියෝගය අවස්ථාවේ ලලිත් ඇතුලත්මුදලි මහතා ඉඟියක් කර තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පිළිබඳ විමර්ශනය කරන ක්රමයේ වෙනසක් ඇති විය යුතු බව. නමුත් කිසිවෙක් එදා ඒ ගැන කතා කළේ නැහැ යැයි ඇමැතිවරයා කීවේය.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් පත් කළ කොමිසමෙන් එතුමිය ඉවත්ව ගිය පසු ඒකපාක්ෂිකව විමර්ශනයක් කරලා ප්‍රජා අයිතිය අහෝසි කළා ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. අභියාචනාධිකරණයට යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පළ කළ මතය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසීය.
විමර්ශනය අවස්ථාවේ විපක්ෂ නියෝජිතයන්ට ඕනෑ නම් වාර්තාවක් ඉදිරිපත් කරන්නට තිබුණු නමුත් ඔවුන් එසේ නොකළ බව ඇමැතිවරයා කීවේය.
තේරීම් කාරක සභාවේ ක්‍රියාදාමය පිළිබඳ හොඳින් නිරීක්ෂය කළොත් එහි නිවැරදිභාවය පැහැදිලිව පෙනී යනු ඇති බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය. (ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය)
Source: Dinamina (Sri Lanka)