ඔහු දැන් මිය ගොසින්ය. යළිත් ඔහු අප ඉදිරියේ සජීවී ක්‍රිකට් විස්තර විචාරයේ නොයෙදෙනු ඇත. ඒ ප්රතාපවත් මනා පෞරුෂයකින් හෙබි මිනිසා, මිය ගියත් නොමළ මිනිසුන්ගේ ගණයට වැටෙන මනුෂ්‍යයෙකි.
අපේ රටට සැතපුම් දහස් ගණනක් එපිට රටක ඉපිද ඔහු අපේ රටට ආදරය කළේය. ඒ ආදරය ගෞරවය කොතරම් ද යත් ටෝනි යනු අපේ කෙනකු මෙන් අපට දැනෙන්නට විය.
හදවතින්ම ශ්‍රී ලංකාවට ආදරය කළ විදේශිකයකු ගැන දැනෙන හැඟීම පවා අපට අභිමානයකි. ටෝනි ග්‍රේග් අපට ඒ අභිමානය දස දහස් වාරයක් ලබාදුන් අයෙකි. අපේ මිනිසාගේ හද ගැහෙන රිද්මය හඳුනාගත් ටෝනි ඒ රිද්මයට අගයක් ගෙන දුන්නේය. ලෝකය ඉදිරියේ අපේ හදගැස්ම, අපේ මනුෂ්‍යත්වය ඉහළින්ම වර්ණනා කිරීමට ඔහු ක්‍රියා කළේය. ඒ සොඳුරු මිනිසාගේ සමුගැනීම ශ්‍රී ලංකාවට අපේ කෙනකු නැති වුණා සේ දැනෙන්නේ එ නිසාය.
අපේ ඇතැම් මිනිසුන්ටත් වඩා අපේ රටට ආදරය කළ ටෝනි අපේ රටේ නොගිය තැනක් නැති බවට වාර්තා විය.
අපේ හදගැස්ම පමණක් නොව අපේ සංස්කෘතිය, ජන විඥනය පිළිබඳව ද ටෝනිට අවබෝධයක් ඇතිවුණේ ඒ නිසාය.
ටෝනි මියයැම අපේ අයකු මිය ගියාට වඩා දුකක් කනගාටුවක් අපේ මිනිසුන්ට දැනෙන්නේ ඒ නිසාය. ඔහු අපේ අන්නාසි ගෙඩියට, තැඹිලි ගෙඩියට ලොල් වූයේය.
සනත්ගේ, කළුගේ, පිතිහරඹයට ඔහු වශී වූයේය.
අර්ජුනගේ නායකත්වය ඔහු අර්ථ දැක්වූයේ “කැප්ටන් කූල්” ලෙසය. 1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට පෙර 95 වසරේ පටන් ටෝනිගේ ශ්‍රී ලංකා ලෝලිත්වය ඇති වූ බව කියෑවේ.
1995 වසරේ ඔස්ටේ්රලියාවේ පැවැති බෙන්සන් සහ හෙජස් තරගාවලියේ පටන් ඇති වූ මේ ලෙංගතුකම මේ ඥතිත්වය දිනෙන් දින දලුලා වැඩෙනු දුටුවෙමු.
“අපේ අය ක්‍ර්‍රSඩා කළ විලාශයට ඔහු ගොඩක් ආස වුණා. අපේ රටේ දේවල්වලට අන්නාසි ගෙඩියේ පටන් ඔහු ඇළුම් කළා. ශ්‍රී ලංකාව ගැන කවුරුවත් කතා නොකළ කාලයක ටෝනි අපේ රට ගැන කතා කළා. අපේ රටේ යුද්ධය පැවැති කාලයේදී ක්‍රිකට්වලට එය බාධාවක් නොවන බවට ඔහු ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කළා. ඔහු කළ සේවය ශ්‍රී ලාංකිකයන් විදියට අපිට කවදාවත් අමතක කරන්න බැහැ. ටෝනි ග්‍රේග් නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක හැමදාම තිබේවි.”
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු සහ සුපිරි පිතිකරු සනත් ජයසූරිය ටෝනිගේ හදිසි මරණය පිළිබඳ එසේ අදහස් ප්‍රකාශ කර තිබුණේය.
සනත්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට ටෝනිගේ මරණය කනගාටුව උපදවන්නකි. පෙනහළු පිළිකාවකින් පීඩා විඳි ටෝනි සිඩ්නි හි සෙන්ට් වින්සන්ට් රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙන්ම ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තරයේ ආදරයට පාත්‍ර කළ ඒ මිනිසා යළි අප අතරට නොඑන්නට සමුගත්තේය.
ඒ වන විට ටෝනි තම දිවි මගේ 66 වැනි කඩ ඉම පසු කළ අයෙක් වූයේය.
1946 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදා දකුණු අප්‍රිකාවේ උපත ලැබූ ඔහු ක්‍රිකට් උපන් දේශයට සංක්‍රමණය වෙමින් එහි පුරවැසිභාවය ලබා ගත්තේය.
1972 වසරේදී පළමු වරට එංගලන්ත ජාතික ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබන ඔහු 1975 වසරේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙන්නේය. ටෙස්ට් තරග 14 කදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවන ටෝනි ග්‍රේග් ටෙස්ට් තරග 58 ක ලකුණු 3595 ක් ලබාගෙන තිබේ. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ ටෝනි ග්‍රේග් පිට දඟ පන්දු මෙන්ම මඳ වේග පන්දු යෑවීමට ද සමත්කම් පෙන්වා තිබේ. එහිදී ටෝනි දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 141 කි. හොඳම පන්දු යෑවීම ලකුණු 86 කට කඩුලු 8 කි.
ඒ අනුව බලන කල ටෝනි දක්ෂ ක්‍රීඩකයකු බව පෙනේ. දක්ෂ ක්‍රීඩකයන් නම් මේ ලොව ඕනෑ තරම් බිහි වී තිබේ. ඉදිරියටත් එවැන්නන් බිහි වනු ඇත. ඒත් ටෝනි වැනි හොඳ මනුෂ්‍යයන් බිහිවන්නේ කලාතුරකිනි. ඔස්ටේ්රලියා අගමැති ජුලියා ගිලාර්ඩ් මහතා ද ටෝනිගේ අභාවය පිළිබඳ ශෝකය පල කළ අය අතරට එකතු වන්නේය.
ටෝනිගේ ශ්‍රී ලංකා ළබැඳියාව නිසාම 2011 වසරේ සංචාරක මණ්ඩලය යටතේ ජගත් ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව පිළිබඳ සන්නාම තානාපතිවරයා යන තනතුරෙන් ටෝනි පිදුම් ලබන්නේය. ටෝනිට ශ්‍රී ලංකාවෙන් එසේ තනතුරු, ගෞරව නාම ලැබෙන්නේ ටෝනි තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තිබූ ඒ සුවිශේෂී භක්ත්‍යාදරය නිසාමය.
අඩි හයක් සහ අඟල් හයක් උසැති මනා පෞරුෂයකින් හෙබි මේ මිනිසා ප්‍රසන්න වූත් ආචාරශීලීවත් පෙනුමකින් යුක්ත වූයේය. බස නිරවුල්ව මනාව උච්චාරණය කළ ටෝනිගේ විස්තර විචාරය ඉංග්‍රීසි බස හොඳින් නොතේරෙන අයකුට වුවත් අසා සිටින්නට ප්‍රිය උපදවන සුළු විය.
ටෝනිගේ හඬ සහ රුව ආකර්ශණීය විය. ඒ ආකර්ෂණය වූත් ප්‍රියමනාප වූත් මිනිසා සනත්ගේ පිති ප්‍රහාරය දකින්නේ පන්දු යවන්නන් සහ ප්‍රතිවාදීන් විනාශ කරන පිතිහරඹයක් ලෙසය.
ඒ අනුව කිසිත් ලෝභකමක් හිතේ නොතියා ගෙනම ඔහු සනත්ට “මාස්ටර් බ්ලාස්ටර්” කියයි. ඒ හඬ ලෝකය පුරාවටම ගලාගෙන ගොස් සනත් “මාස්ටර් බ්ලාස්ටර්” වෙයි. කළුවිතාරණ “ලිට්ල් කළු” වෙයි. මේ සුසංයෝගය ලෝක ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ අයුරු මසැසින් සහ මනසින් ද බැලූ ඔහු එම පිති ප්‍රහාරයෙන් ප්රමෝදයට පත්වෙයි.
“මාස්ටර් බ්ලාස්ටර්” “ලිට්ල් කළු” ලෝ ප්‍රචලිත වන්නේ ටෝනිගේ ඒ ලෙංගතු විචාරයත් සමඟය.
සනත්, කළු, අරවින්ද, අර්ජුන, මුරලි මෙන්ම මහේල සහ සංගක්කාර ද ටෝනිගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙති. ඔහුගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ හැම දෙනාටම ඔහු මියගිය පාඩුව අදටත් වඩා හෙට දිනයේ දැනෙනු ඇත. අපේ රටේ නොඉපද, අපේ රටේ හැදී නොවැඩී, අපේ රටට ආදරය කළ එවැන්නකු අපේ කාලයේ යළි පහළ වේ යෑයි සිතන්නටවත් නොහැක.
කුෂාන් සුබසිංහ
Source: Divaina (Sri Lanka)