මොරටුවේ “එන්ඩීටී” සිසුන් පිරිසකගෙන් මොරටු ඉංජිනේරු සිසුන්ට යකඩ පොලු ප්‍රහාරයක්‌

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා (එන්.ඩී.ටී.) සිසුන් අතර ඇතිවූ ගැටුමකින් ශිෂ්‍යයන් පස්‌ දෙනකු බරපතල තුවාල ලැබූ අතර ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම නිසා එම පීඨ දෙකම ඊයේ (17) සිට දින නියමයක්‌ නොමැතිව වසා දමා ඇත.

යකඩ පොලුවලින් සන්නද්ධව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ නේවාසිකාගාරයට පෙරේදා (16 වැනිදා) රාත්‍රි කඩාවැදුණු ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් පිරිසක්‌ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට පන්න පන්නා පහරදීම නිසා බරපතල තුවාල ලැබීමෙන් එම ශිෂ්‍යයන් පස්‌දෙනා රෝහල්ගත කර ඇත.

මෙම අමානුෂික ප්‍රහාරයෙන් හිසට දැඩි තුවාල ලබා බරපතල තත්ත්වයක පසුවන එක්‌ ශිෂ්‍යයකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට (අයි.සී.යූ.) ඇතුළත් කර තිබේ.

හතළිස්‌ දෙනකුගෙන් පමණ සමන්විත වූ ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් එල්ල කළ ප්‍රහාරවලින් ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරයටද දැඩි හානි සිදුවී ඇත.

මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා පැවැසුවේ විශ්වවිද්‍යාල භූමියේ පිහිටි ඉංජිනේරු පීඨ සිසුන්ගේ නේවාසිකාගාරවලට පැමිණි තාක්‍ෂණ ඩිප්ලෝමා සිසුන් මෙම පහරදීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

පොලු සහ බෝතල් යොදා ගනිමින් රාත්‍රි 10.30 ට පමණ පහරදී ඇතැයිද සිද්ධියත් සමගම දෙපිරිසේම සිසුන් පොලිස්‌ ආරක්‍ෂාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවද මහාචාර්යවරයා කීවේය.

මෙම දෙපිරිස අතර පසුගිය දෙවැනිදා ඇතිවූ ගැටුමින් පසුව ඉංජිනේරු පීඨයේ පළමු, දෙවැනි හා තෙවැනි වසර සිසුන්ට සහ තාක්‍ෂණික ආයතනයේ දෙවැනි වසර හැර සෙසු සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිණීම තහනම් කර තිබිණි.

ඉංජිනේරු සිසුන් හා තාක්‍ෂණික ආයතන සිසුන් අතර කාලයක්‌ තිස්‌සේ පවතින ගැටලුවක්‌ සිද්ධියට හේතුවී ඇතැයිද මෙම තත්ත්වයට පිළියමක්‌ ලෙස තාක්‍ෂණික ආයතනය දියගමට ගෙන යැමට තීරණය කර ඇතැයිද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ මොරටුව පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ බව කියන ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබේ.

යකඩ පොලු, වැලි පිරවූ බෝතල්, කළුගල්, බයිසිකල් ෙච්න්වලින් සන්නද්ධව පැමිණි තාක්‍ෂණ ආයතන ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන්ට ඉවක්‌ බවක්‌ නොමැතිව අමානුෂික ලෙස පහර දෙද්දී පොලිස්‌ කණ්‌ඩායමක්‌ එහි පැමිණ ඇත.

පොලිස්‌ නිලධාරීන් ඒ අවස්‌ථාවේ මෙම ගැටුම පැවැති ස්‌ථානයට ක්‍ෂණිකව නොපැමිණෙන්නට ශිෂ්‍යයන් කීප දෙනෙකුගේ ජීවිත පවා අහිමි වීමට ඉඩ තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

ඉකුත් 01 වැනිදා ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් පිරිසකට ඉංජිනේරු ශිෂ්‍යයන් ප්‍රහාර එල්ල කිරීමෙන් ශිෂ්‍යයෝ කීප දෙනෙක්‌ තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරයට එකට එක කිරීමක්‌ ලෙස පෙරේදා රාත්‍රි පහරදීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරයට සහ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි තාක්‍ෂණ ආයතන ශිෂ්‍යයන් 40 දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට, මොරටුව සහකාර පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මොරටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Source: Divaina (Si Lanka)