රිසානා නෆීක්ට සමාව ලබා දෙන ලෙස කළ අභියාචනා සඳහා බ්‍රිතාන්‍යය ද සහාය ලබා දුන් බව ද ඇය ඝාතනයට ලක්වූ පුවත අසා තමන් මහත්සේ කම්පා වූ බව ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පසුගිය සතියේ සවුදි අරාබියෙහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ගේ මරණය ගැන සියලු දෙනා මෙන්ම මමත් ඉතාමත් කම්පාවට පත් වුණා.
ඇයට සමාව ලබාදෙනමෙන් කෙරුණු අභියාචනා සඳහා බ්‍රිතාන්‍යයත් සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ ඇය විසින් කරන ලදැයි පැවසෙන අපරාධය සිද්ධ වූ අවධියේ ඇය නීතිය ඉදිරියේ බාල වයස්කාරියක් නිසාම පමණක් නොවේ. බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් මරණ දණ්ඩනයට එකහෙළාම විරුද්ධයි. (යුරෝපා සංගමයේ රටවල මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තහනම් කර ඇත.)
පසුගිය අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ, මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටු කිරීමේ පනතට සහයෝගය ලබා දෙන මෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව සහ මාලදිවයින උනන්දු කිරීමට උත්සහ දැරුවා. 2010 වර්ෂයේ මෙම පනතට සහයෝගය දැක්වූ නමුත් මෙම අවුරුද්දේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින මෙයට සහයෝගය ලබාදීමෙන් වැලකී සිටියා.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දණ්ඩ නීති සංග්‍රහයේ මරණීය දණ්ඩනය පිළිබඳ නියෝග තිබෙන නමුත් දෙරටේ මරණීය දණ්ඩනය වර්ෂ ගණනාවකින් ක්‍රියාත්මක වී නැත. (ශ්‍රී ලංකාවේ 1976 වර්ෂයෙන් පසුව සහ මාලදිවයිනේ 1953 වර්ෂයෙන් පසුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වී නැත.)
එහෙත් මෙම රටවල් දෙකේම ඉතා දරුණු අපරාධ මැඩලීම පිණිස මරණීය දණ්ඩනය යළිත් ක්‍රියාත්මක කිරීම සලකා බලනවා. මම දැරූ පෙර තනතුරුවලදී දරුණු අපරාධකාරයන් සමග වැඩකර තිබෙනවා. එවැනි අපරාධකාරයන් සමග වැඩ කර ඇති අයකු ලෙස මම හිතන්නේ නැහැ. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ විශාල වශයෙන් මැඩලීමට හැකිවේ කියා. මෙම අංශය පිළිබඳ කෙරී ඇති මත විමසුම් දෙස බැලූවිට එය තවත් තහවුරු වෙනවා.
සමහර පුද්ගලයන්ට සහ සමාජ වලට වැරැදිකරුවන්හට දඬුවම් කිරීම බොහෝ සෙයින් වැදගත් වෙනවා.
තමන්ට හිරිහැරයක් කළ කෙනකු වෙත වෛර සහගත හැඟීම් ඇතිවිම ස්වභාවිකයි. නමුත් සාධාරණ අධිකරණ පද්ධතියක වැදගත්ම රාජකාරිය වන්නේ හැඟීම් ඉවත දමා තමන් වෙත ඉදිරිපත්ව ඇති කරුණු කාරණා සලකා බලා අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීමයි.
මෙයින් මම කියන්නේ හිරිහැරයට පත් වුණ අයගේ අදහස් සහ හැඟීම් ඉවත දැමිය යුතු බව නොවේ. නමුත් අපක්ෂපාතීව තීරණ ගැනීමෙන් අයුක්තියට සහ අසාධාරණයට ඇති ඉඩකඩ අවහිර වෙනවා. මරණ දඬුවම් ක්‍රියාත්මක කළ පසු යළිත් එය නිවැරැදි කරන්න බැහැ යන්න කිවමනා නොවෙයි.
පසුගිය අවුරුද්දේ බ්‍රිතාන්‍යයේදී වයස 14 ක තරුණයකු අතින් ශ්‍රී ලාංකිකයකු වන නිමලරාජා මහත්මයා ඝාතනයට ලක්වුණා. ඔහුගේ බිරිඳ වන නිමලරාජා මහත්මිය තමාගේ සැමියාගේ ඝාතකයාගේ නඩු තීන්දුවෙන් පසු මෙසේ පැවසුවා. මට දැන් තරහක් නැහැ, ඉස්සර මට තරහක් තිබුණා. මගේ සැමියා මට අහිමි වුණ නිසා නමුත් දැන් මගේ හිතේ තරහක් නැහැ. ඔහුගේ ඝාතකයා දරුවෙක්, එයා අතින් මගේ සැමියා ඝාතනයට ලක්වුණේ වැරදීමකින්. එයා හිතාමතා මගේ සැමියාව ඝාතනය කළේ නැහැ. නිමලරාජා මහත්මියගේ අදහස් අසා මම පැහැදීමට පත් වුණා.
සෑම නඩු වාරයකදීම උසාවියට පැමිණි නිමලරාජා මහත්මියට, සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටත්, යුක්තිය ඉටුවීම දැකීමත් වැරැදිකරුවාට දඬුවම් කිරීමට වඩා වැදගත් වුණා.
Source: Divaina (Sri Lanka)