නියම සටන පටන්ගන්නේ දැන්! – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

අගවිනිසුරුතුමිය ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලිය දැන් අවසන් වී තිබෙනවා. නමුත් එය අවසන් වුණේ ව්‍යවස්‌ථාදායකයේ, විධායකයේ සහ අධිකරණයේ ගැටුමක්‌ නිර්මාණය කිරීමෙනුයි. එහෙම වුණේ ඇයි?

මේ සිදුවුණේ පැහැදිලිවම විනය ක්‍රියාමාර්ගයක්‌. ඉහළ අධිකරණවල විනිසුරුවන් ඉවත් කිරීමේදී ව්‍යවස්‌ථාදායකය මැදිහත් වෙනව. ඉවත් කිරීම සිදුකරන්නේ විධායකය මගින්. මේක අපේ රටට විතරක්‌ ආවේනික සංසිද්ධියක්‌ නොවෙයි. මුළු ලෝකෙම වෙන්නේ මෙහෙමයි.

මෙහිදී සිදු වුණේ මේ ක්‍රියාදාමය සිදුවීමේදී ගැටුමක්‌ නිර්මාණය වීමයි. ව්‍යවස්‌ථාදායකය, විධායකය සහ අධිකරණය යන ස්‌වාධීන ආයතන තුන නිසි පරිදි ක්‍රියාත්මක වුණා නම් මේ ගැටුම නිර්මාණය වෙන්නෙ නෑ. කවුරු මොනව කිව්වත් අපේ රටේ උත්තරීතර වන්නේ විධායකයයි. එයට හේතුව මේ සියල්ල මෙහෙයවන්නේ විධායකය මගින්. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම විධායකය උත්තරීතර කළා. අනිත් ආයතන දෙකටත් නාමික වශයෙන් යම් ස්‌වාධීනත්වයක්‌ දීල තියෙනව කියල පෙන්නල තියෙනව. එය නාමික ස්‌වාධීනත්වයක්‌ බව පේන්නෙ මේ වගේ අවස්‌ථාවලදියි. මේක තමයි මේ 78 ව්‍යවස්‌ථාවේ තියෙන දුර්ගුණය. මේ ව්‍යවස්‌ථාව වෙනස්‌කරල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියල අපි දැඩි හඬක්‌ නැගුවෙ ඒකයි. මම නීතිපති වශයෙන් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කළෙත් මේ ජනාධිපති ක්‍රමය නැතිකරන්න, එදා පාර්ලිමේන්තුවේදී ඒ ව්‍යවස්‌ථාව ඉරල විසිකරපු එක්‌සත් ජාතික පක්‍ෂයට දැන් ඒකෙ ඵලවිපාක තේරෙනව ඇති. පාර්ලිමේන්තුවෙ බලයත් විධායකයට ආවහම විධායකය ඉතාමත් ප්‍රබල වෙනව. පාර්ලිමේන්තුව විසුරුවා හැරල තමුන්ට පක්‍ෂ ආණ්‌ඩුවක්‌ තියා ගන්න විධායකයට පුළුවන්. තමුන්ට ඕන ඇමැතිවරු ටිකක්‌ පත්කරගන්නත් විධායකයට පුළුවන්. ඕක කරන්න එපා කියල අපි ඔළුවෙන් හිටගෙන කිව්වත් ඒක සිද්ධවෙනව.

සමහරු නං කියන්නෙ ඒකට වගකියන්න ඕන ඔබ කියලයි?

මම නෙමෙයි. මන්ත්‍රීවරු අනික්‌ පැත්තට ගියාම ඒ අය මේ පැත්තට ඇදල ගන්න මට බෑ. අපට පුළුවන් නීතියට අනුව එවැනි දෙයක්‌ ප්‍රතික්‍ෂේප කරන්න විතරයි. එකකොට වැඩේ සිද්ධ වෙලා ඉවරයි. දැන් 18 වැනි සංශෝධනෙත් ඇවිල්ල ජනාධිපතිතුමාගේ තනි අභිමතයයි ක්‍රියාත්මක වෙන්නෙ.

ශිරාණි බණ්‌ඩාරනායක අගවිනිසුරුතුමියත් ජනාධිපතිතුමා සමඟ සුහදව කටයුතු කළා. මම හිතන්නෙ ජනාධිපතිතුමා එතුමිය අගවිනිසුරු හැටියට පත්කළේ ජනාධිපතිතුමාට එතුමියගෙන් ප්‍රශ්නයක්‌ ඇති නොවේ යෑයි පැහැදිලි අවබෝධයකින්. මගෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවුණා කියල ජනාධිපතිතුමා හිතුව.

ඉන්ධන මිල ආදි දේවලට දුන්නු තීන්දු හින්ද එතුමට අපිව පෙනුනෙ ඉදහිට ඇනෙන කටුවක්‌ වාගෙ. මම විශ්‍රාම ගියාට පස්‌සෙත් දෝෂාභියෝගයක්‌ ආව. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියත් හිතුවෙ අපි කටුවක්‌ කියල. මම නම් හිතන්නෙ අධිකරණයත් සමඟ සුහදතාවයක්‌ ගොඩනගා ගැනීමේ අරමුණින් තමයි ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියගෙ ස්‌වාමිපුරුෂයාට ඔය තනතුරු දුන්නෙත්. වැරදීම පටන්ගත්තෙ ඔතනින්. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව රජයට පවරා ගත්තෙ මම අගවිනිසුරුව සිටියදී. එහිදී අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට යමෙකු පත් කිරීමේදී ඔහුට තිබිය යුතු සුදුසුකම් අපි පැහැදිලිව දක්‌වා තිබෙනවා. ප්‍රදීප් කාරියවසම් රක්‍ෂණ සංස්‌ථාවේ සභාපති ලෙස පත්කළේ මම අගවිනිසුරු තනතුරින් ඉවත් වුණාට පස්‌සෙ. මම හිටිය නම් ඔය පත්වීමට ඉඩ දෙන්නෙ නෑ. ඊළඟට ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් දුන්න. මේ ආයතන දෙකේම ප්‍රශ්න මතුවෙනවිට ජනාධිපතිතුමාට සිදුවුණා තීරණයක්‌ ගන්න. මම හිතන්නෙ අගවිනිසුරුතුමිය සමඟ ප්‍රශ්නය මතුවෙන්නෙ එතනින්.

ඊළඟට විශ්වවිද්‍යාලයට සිසුන් ගන්න ඉසෙඩ් ස්‌කෝර් ප්‍රශ්නයට අගවිනිසුරුතුමිය දුන් තීන්දුවෙ එතරම් ගුණාත්මක බවක්‌ ඇතැයි මට නම් පේන්නෙ නෑ. එකවරම වැඩිපුර සිසුන් පන්දාහක්‌ විශ්වවිද්‍යාලවලට ගැනීම ප්‍රායෝගිකව බරපතළ ප්‍රශ්නයක්‌. දිවිනැඟුමට දුන්නු තීන්දුව වුණත් දිවිනැඟුම කියන්නේ ප්‍රේමදාස මහතාගේ ජනසවිය වගේ එස්‌. බී. මහතාගේ සමෘද්ධිය වගේ සංකල්පයක්‌. ඔය කියන තරම් විශාල අර්බුදයක්‌ ඒකෙන් ඇතිවෙයි කියල හිතන්න බෑ.

මේ තීන්දු තීරණ හරහා අගවිනිසුරුතුමියත් අර විටින් විට ඇනෙන කටුවක්‌ බවට ආණ්‌ඩුව හිතුව වෙන්නත් පුළුවන්. කොහොමහරි දෝෂාභියෝගය ආවේ ඊට පස්‌සෙ. දෝෂාභියෝග ක්‍රියාදාමය පාර්ලිමේන්තුවෙන් පටන්ගන්න කොට අනික්‌ පැත්තෙන් අධිකරණමය ක්‍රියාදාමයක්‌ පටන් ගත්ත. ගැටුම නිර්මාණය වුණේ මෙතනින්. මේ ආයතන දෙකම තම තමන්ගේ ක්‍රියාදාම වේගවත් කළා. එසේ නොවී මේ ක්‍රියාදාමයන් සාමාන්‍ය ලෙස සිදුවුණා නම් ගැටුමක්‌ නිර්මාණය නොවී මෙය අවසන් වන්නට ඉඩ තිබුණ. අධිකරණයත් නිවාඩු දිනවල පවා රැස්‌වෙලා මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යැම ගැටලු සහගතයි. නමුත් උසාවි තීරණයට අපි ගරු කරන්න ඕන.

ව්‍යවස්‌ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේ මේ ආයතන දෙකෙන් කොයි එකටද?

ශ්‍රේෂ්ඨාධිකරණයට.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය පාර්ලිමේන්තුව පිළිනොගත්තේ ඇයි?

පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක්‌ සිදුවනවිට ඊට මැදිහත්වීමට අධිකරණයට බැහැ. අධිකරණයට මැදිහත්විය හැක්‌කේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය අවසන් වූ පසුයි. අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුව ගන්නා ක්‍රියාදාමය නවත්වන්නට අධිකරණයට බැහැ. අධිකරණයට එම ක්‍රියාදාමයේ හරි වැරැද්ද කියන්න පුළුවන් වන්නේ ඒ ක්‍රියාදාමය අවසන් වූ පසුවයි. ස්‌ථාවර නියෝග අනුව පත්කළ තේරීම් කාරක කමිටුව වැරදි බව ඒ විදිහට ප්‍රකාශ වුණා නම් මේ තත්ත්වය වෙනස්‌ වන්න ඉඩ තිබුණා. පාර්ලිමේන්තුවත්, අධිකරණයත් ස්‌වාධීන ආයතන නිසා එක ආයතනයක ක්‍රියාදාමයක්‌ නවත්වන්න අනෙක්‌ ආයතනයට බැහැ.

ස්‌ථාවර නියෝග නීතියක්‌ නොවන නිසා ඒ අනුව තේරීම් කාරක සභාව පත්කිරීම වැරදි බවයි මේ පිළිබඳ නගන තර්කය?

මට පේන හැටියට නම් මේ ස්‌ථාවර නියෝගවල වරදක්‌ නෑ. ස්‌ථාවර නියෝග මෙතැනදී යොදා ගන්නෙ සැකිල්ලක්‌ ලෙස පමණයි. ඒ අනුව එහි අඩුපාඩු තියෙනව. මේ අඩුපාඩු වළක්‌වන්න කිසියම් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ ඇතුළත් කළ යුතු බව 2000 ව්‍යවස්‌ථාවෙන් අපි යෝජනා කළා. ඒක එදා එජාපය යි ජවිපෙ යි ඉරල විසිකළා. කිසියම් සාධාරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ස්‌ථාවර නියෝග හරහා අවකාශ සැලසිය යුතුයි කියල යෝජනාවක්‌ ගෙනත් එය තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළ විට මෙය පාර්ලිමේන්තුවටම ගනිමු යෑයි විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට යෝජනා කරන්න තිබුණ. එසේ කළා නම් මෙය ගැටුමක්‌ නොවී වඩාත් විධිමත්ව සිදුකරන්නට තිබුණා.

කෙසේ වෙතත් දැන් ජනාධිපතිතුමා නව අගවිනිසුරුවරයෙක්‌ පත්කර තිබෙනවා. ඒ පත්වීමට එරෙහිව නීතිඥ සංගමය කෝ වරන්ටෝ ආඥවක්‌ ලබාගැනීමට අධිකරණයට ගොස්‌ තිබෙනවා. මොකක්‌ද මේ කෝ වරන්ටෝ ආඥව?

මේව මේ පරණ රජකාලෙ පාවිච්චි කරපු ආඥ. යම් තනතුරක්‌ දරන පුද්ගලයෙකුගෙන් ඔහුට එම තනතුරු දැරීමට තිබෙන බලය විමසන ආඥවක්‌ තමයි කෝ වරන්ටෝ කියන්නෙ. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය වැළැක්‌විය නොහැකි නිසා නව අගවිනිසුරුගේ පත්වීමට අභියෝග කිරීමටයි මේ කෝ වරන්ටෝ ආඥවක්‌ නිකුත් කරන ලෙස නීතිඥ මණ්‌ඩලය ඉල්ලන්නෙ. ජනාධිපති පත්කළා වුණත් ඒ පත්කිරීම තිබෙන්නෙ ඉවත් කිරීම මත. ඉවත් කිරීම වලංගු නොවුණොත් පත්වීමත් වලංගු නැහැ වැනි තර්ක මේ අනුව ගොඩනගන්න පුළුවන්.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය නතර කිරීමට ගත් උත්සාහයට වඩා මේ ක්‍රියාදාමයේ යම් පදනමක්‌ තිබෙනව. මම හිතන්නේ දැන් තමයි නියම සටන පටන් ගත්තෙ. මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයා හැකි පදනමක්‌ අභියාචනාධිකරණය මගින් සකස්‌ කරල තියෙනව.

අගවිනිසුරුතුමිය ඉවත් කිරීම පිළිබඳව මේ වන විට ඇතැම් රටවල් මෙන්ම පොදුරාජ්‍ය මණ්‌ඩලයීය සංගම් මහලේකම්වරයාත් කනස්‌සල්ල පළකර තිබෙනව. ඇතැමුන් අපේ රටට මානව හිමිකම් කඩවීමේ චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන අවස්‌ථාවක මේ සිදුවීම ඔබ දකින්නෙ කොහොමද?

පසුගිය 15 වැනිදා අගවිනිසුරුතුමිය ඉවත් කළ ආකාරය කිසිවකුට අනුමත කරන්න බැහැ. ඒ ක්‍රමයට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. එතුමියට යම් කාලයක්‌ ලබාදිය යුතුව තිබුණ. කම්කරුවෙක්‌වත් එහෙම එකපාරට එළියට දාන්නෙ නෑ. මේව ජාත්‍යන්තරයට යනව, නව අගවිනිසුරු දිවුරුම් දෙන දිනයෙත් හැමතැනම බැරියර් දාල. මම අගවිනිසුරුව සිටියදි ඔය බැරියර් අහකට දැම්ම. ත්‍රස්‌තවාදීන්ට වුණත් අධිකරණයට එන්න නිදහස තියෙන්න ඕන. බෝම්බ ගේන්න විතරයි බැරි. සහනයක්‌ ලබා ගන්න ත්‍රස්‌තවාදියට වුවත් අධිකරණයට එන්න පුළුවන්. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියටත් කතා කිරීමේ නිදහස තියෙන්න ඕන. මේ දෝෂාභියෝග ක්‍රියාවලියත් දවස්‌ කීපෙකින් අවසන් කළා කියල උදම් ඇනීම හපන්කමක්‌ නෙමෙයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

Source: Divaina (Sri Lanka)