අපේ ක්‍රිකට් මේ දිනවල නළුවන් නැති රඟ මඬලක් මෙනි. ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිස් තැනකි. උප නායකත්වයද එසේය. තේරීම් කමිටුව වැට උඩය. නිලවරණය අත ලඟය. එහෙත් ක්‍රිකට් වලටද විරාමයක් නැත. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනාගතය ජය ගැනීමට සුදුස්සාට සුදුසු තැනදීමේ තීරණාත්මක මෙහෙයුම ක්‍රීඩා ඇමැතිවරයා විසින් දැන් දියත් කළ යුතුව තිබේ.
පෞද්ගලික ඕනෑ එපාකම් සහ වක්‍රාකාරව එල්ලවන දේශපාලන නියෝග මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රාහී රිද්මය දැන් ගිලිහී යමින් තිබේ. ක්‍රිකට් ආයතනයේ වගකිව යුතු ඇතැම් පාර්ශ්ව ගත් තීරණ සහ රටේ ඉහළ පුටුවල නොදැනුවත්කම මත ගත් තීන්දු තීරණ හේතුවෙන් ක්‍රිකට් ආයතනය ණය බරින් හෙම්බත්ව සිටිති. ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පරිණත ක්‍රීඩකයකු නොමැති අඩුව තදින්ම දැනෙයි. එහෙත් මේ සියලු අභියෝග වලට සාර්ථක පිළිතුරු ඉදිරි දින කිහිපයේදී ගත යුතු බැවින් එය ඥණාන්විතව ගත යුතු තීන්දු තීරණ වේ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවට පසුගිය කාලවල ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන් එකමුතුව ක්‍රිකට් ජයග්‍රහණ ලැබුවේය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ සිට ඉකුත් වසරේ අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන දක්වා ගත වූ කාලයේදී කුමන හෝ අන්දමින් ලෝක ක්‍රිකට් පිටියේ පෙරළිකාර චරිත වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එහෙත් අතේ තිබූ දේ කටට දා ගැනීමට පුහුණුකරුවන්ට සහ නායකයන්ට බැරිවුණ අවස්ථාද ඒ අතරතුර කාලයේදී ඕනෑ තරම් තිබේ. දැන් ලෝක ටෙස්ට් ශ්‍රේණිය සහ එක්දින ශ්‍රේණියේ ඉහළ ආසනයක් ගැනීම සහ ඉදිරියේ ඇති තරගාවලි ජයග්‍රහණය කිරීමේ භාරදූර වගකීම නව නායකයාට සහ නව තේරීම් කමිටුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වේ.
ඇන්ජලෝ මැතිව්ස් හට ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ නායකත්වය හිමිවීමට යෝජිත වුවද ඔහු එක්දින සහ 20-20 කණ්ඩායම්වල නායකත්වයට පමණක් පත්කිරීමේ අදහසක් ඇති බව වාර්තා වේ. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා වෙනම නායකයකු පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ප්රමුඛ බල ඇණියක් මේ වන විට සාකච්ඡා කරගෙන යන අතර එය නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්වීමෙන් පසුව තීරණය කිරීමට නියමිතය.
වත්මන් ටෙස්ට් කණ්ඩායමේ සිටින නවක සහ ජ්‍යෙෂ්ඨයන් අනුව මැතිව්ස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය නොලැබෙන්නේ නම් ඒ සඳහා සුදුස්සන් විය යුත්තේ ප්‍රසන්න ජයවර්ධන සහ රංගන හේරත්ය. එහෙත් ආරංචි මාර්ග අනුව තිළිණ කණ්ඩම්බිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය ලබාදීමට යන බව වාර්තා වේ. කණ්ඩම්බිට ටෙස්ට් කණ්ඩායමේ හෝ එක්දින කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් නොතිබුණද ඔහු ක්‍රිකට් අතින් පරිණත ක්‍රීඩකයෙකි. ලූලා නැති වලේ කතාව මෙන් දැන් එළියේ සිටින ක්රීඩකයකුට හෝ ඔටුන්න ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුව ඇත්තේ පසුගිය කණ්ඩායම් සංයුතිය තේරීමේදී ගත් තීන්දු තීරණ නිසාවෙනි. කෙසේ වෙතත් තිළිණ කණ්ඩම්බි එකදු ටෙස්ට් තරගයකට හෝ මේ වන විට සහභාගි නොවීම විශේෂත්වයකි. ඔහු 2004 දී පළමු වරට එක්දින තරගයකට සහභාගි වුවද මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග තරග 38 කට පමණි. කෙසේ වෙතත් ඔස්ටේ්රලියානු එක්දින පිල මෙහෙයවූ ජෝඡ් බෙයිලි එකම ටෙස්ට් තරගයකට හෝ සහභාගි නොවී එක්දින තරග 13 කට පමණක් සහභාගි වූ ක්‍රීඩකයෙකි. නමුත් ඔහුට ඔස්ටේ්රලියානු කණ්ඩායමේ නායකත්වය හිමිවූයේ ප්‍රාන්ත තරගවලදී දක්ෂ ලෙස කණ්ඩායම මෙහෙය වූ හෙයිනි. මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන්ද දැන් පිටියට ගොස් ක්‍රීඩකයන්ගේ වගතුද සොයා බලමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් සුදුසු සංයුතිය තෝරා ගැනීමට වැඩ ඇරඹිය යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින පිටියේ කොතරම් පෙරළිකාර චරිත වුවද අවසන් වසර දෙකක පමණ කාලයේ සිට සහභාගි වූ ටෙස්ට් තරග 22 කදී ලබා ඇත්තේ ජයග්‍රහණ 4 ක් පමණි. එහිදී පරාජයන් 9 ක් ලබා ඇති අතර ජය පරාජයෙන් තොරව තරග අටක් අවසන් වී තිබේ. අදාළ ටෙස්ට් තරගවලට නායකත්වය ලබාදී ඇත්තේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන්ය. එබැවින් වඩාත් සංශෝධන සහිතව සකස් විය යුත්තේ ටෙස්ට් කණ්ඩායම බව පැහැදිලිවේ. යල් පැන ගිය දක්ෂතාවලට වඩා නවක දක්ෂතා වෙනුවෙන් ඇගයීමකට ලක්කොට නවක ක්‍රීඩකයන් ටෙස්ට් පිටියට කැන්දාගෙන ආ යුතුය. ඒ සඳහා හොඳම නවකයන් කිහිප දෙනකු පසුගිය අන්තර් පළාත් තරගාවලියේදීද දැක ගැනීමට හැකිවිය. මීට ඉහතද අපි සඳහන් කළ අශේන් සිල්වා දක්ෂ ටෙස්ට් පිතිකරුවෙකි. ඔහු ඉකුත් වසරේ අන්තර් පළාත් තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා විය. එහෙත් ඔහුට මේ වන විට කිසිදු ස්ථානයක් ‘ඒ’ කණ්ඩායමේ හෝ නොමැති වීමද අපි යළිත් මතක් කර දෙමු.
එක්දින ක්‍රීඩකයන්ව ටෙස්ට් පිටියේ රඳවා ගනිමින් ටෙස්ට් සඳහා සුදුසුකම් තිබෙන ක්‍රීඩකයන් සංචිතවලටත් අසමත් වෙද්දී උඩින් පාත් වෙන්නාක් මෙන් තිළිණ කණ්ඩම්බිට ටෙස්ට් නායකත්වය ලබාදීම කොතරම් සාධාරණද යන්න දෙවරක් සිතීමටවත් දැන් කාලයක් නොමැත.
නායකත්වය යනු පිටියේ කණ්ඩායම හැසිරවීමේ දක්ෂතාව මෙන්ම ජාත්‍යන්තරය ඉදිරියේ නායකයකු ලෙස වගකීම භාර ගැනීමේ හැකියාවද තිබිය යුතුය. ඒ සඳහා පරිණත වන්නේ ක්‍රීඩා කිරීමෙනි. ඒ සඳහා මැතිව්ස් එක්දින සහ 20-20 නායකත්වයට සුදුස්සා වී සිටියදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ඔහුට නොලැබී යන්නේ නම් ඒ සඳහා සුදුසුම ආදේශකයන් වන්නේ කණ්ඩම්බි, ප්‍රසන්න සහ හේරත්ය.
චන්දිමාල් තවම ළපටි ක්‍රීඩකයෙකි. එසේ නම් චන්දිමාල්ට මැතිව්ස්ගේ උපනායකයා වීමේ අවස්ථාව හෝ ලබාදුනහොත් එය අනාගත ආයෝජනයක් වනු ඇත. චන්දිමාල් 2011 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩාමට පැමිණියද තරග ක්‍රීඩා කිරීමට වඩා ඔහු සිටියේ බංකුවේය. ඒ ඔහු ලබාදුන් සෑම අවස්ථාවකදීම ඉහළ සාමාර්ථ ලබාසිටියදීය. එදා සිට ඔහුට නිසි තැන ලබාදුන්නේ නම් චන්දිමාල්ටද නායකත්වය සඳහා සුදුස්සකු වීමට මේ වන විට හොඳින්ම අවකාශ තිබිණි.
කෙසේ වෙතත් ඔස්ටේ්රලියානු සංචාරයේදී නවක තරු කිහිපයක් පරිණත ක්‍රීඩකයන් අභිබවා ඉදිරියට පැමිණියේය. එහෙත් ඇතැම් අවස්ථාවලදී අත්දැකීම් අඩු කමින් ඔවුන් අසාර්ථක විය. ශ්‍රී ලංකාවට තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී තිරිමාන්න, චන්දිමාල් සහ කුසල් ජනිත් දැවී ගියේ අත්දැකීම් රහිත ක්‍රීඩකයන් මෙනි. එකකු ළිඳට පැන්න විට අනිකාද ළිඳට පනින්නාක් මෙන් ඔවුන් කඩුලු පූජා කළේය. එය නිවැරදි කිරීමට පුහුණුකරුවන් අසමත් වීම අහේතුවකි. ජයග්‍රහණය ආසන්නයේදී පසුබැසීමේ කලාව නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ්රලියානු එක්දින තරගාවලියේදී පෙන්වීය.
දැන් මහේල ජයවර්ධනට පිතිකරුවකු ලෙස අසමත් විය නොහැකිය. මීළඟ එක්දින ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිල ගමන් කළ යුත්තේ නවක තරු රෑනක් සමගය. එහිදී ඩිල්ෂාන්, මහේල සහ සංගක්කාර යලට මහට ලකුණු අතර සිටීමට දැන් අවකාශ නොමැත. මහේල සහ සංගක්කාර නායකත්වයට සමුදුන්නේ පිතිකරුවන් ලෙස වැඩ පෙන්වීමටය. එසේ නම් ඔවුන් එය කළ යුතුය.
ටෙස්ට් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් දිනා සිටි තිලාන් සමරවීරද මේ වන විට අසමත් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියි. මීට පෙර නායකත්වය සඳහා සුදුස්සකු වූ සමරවීර දැන් වයසත් සමග දක්ෂතාවලින් පොහොසතකු වීමට නොහැකිව සිටීම මත කණ්ඩායමෙන්ද එළියට විසිවී යාමේ අවදානමක් ඇත. ඒ නවකයන් රොත්තතුක් කරළියට පැමිණ ඇති බැවිනි. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් සුබ ගමනකට සැරසිය යුතුය. එය නව නායකත්වයක් යටතේය. එහිදී තේරීම් කමිටුව අලුත්විය යුතුය. පුහුණුකරුවන්ද අලුත් විය යුතුය. එසේම ක්‍රිකට් පාලක මණ්ඩලයද අලුත් විය යුතුය. මේ සියල්ල අලුත් වුවහොත් පමණක් යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් පල්ලම් බැසීම වෙනුවට හිණි පෙත්තට නැගීම අරඹනු ඇත.
අසේල විතාන
Source: Divaina (Sri Lanka)