සුසාන භූමියක් අසන විට බොහෝ දෙනාට දැනෙන්නේ බිය ජනක සිතුවිල්ලකි. මළමිනී වළදමන ලද සොහොන් කොත් බඳින ලද චිතකයන් සුසාන භූමියක දකින්නට ලැබෙන දසුන්ය. ඒ දර්ශනය දකින්නට බොහෝ දෙනා අකමැතිය.
එහෙත්, එවන් සමාජයක සුසාන භූමියක අටවා ගත් පොල් අතු සෙවිලි කළ පුංචි පැල්පතක ජීවත්වන දරු පවුලක් ගැන අසන විට බොහෝ දෙනකුට ඒ ගැන දැනෙන්නේ දුකකි කනගාටුවකි. තඹුත්තේගම නගරය ආසන්නයේ ඇති නල්ලච්චිය ගම්මානයේ තිබෙන සුසාන භූමියේ පොල්අතු පැලක ජීවත්වන දරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනකුගේ පවුලේ කඳුළු කතාව ගැන දැන ගන්නට ඔවුන් සොයා ගියෙමි.
පවුලේ ප්‍රධානියා වන සුමිත් චන්දන නිවසේ සිටියේ නැත. බිරිඳ හා දරු දෙදෙනෙක් පමණක් නිවස තුළ සිටියාය.
බිරිඳ වන තක්ෂිලා අමරවංශ මෙසේ පැවසුවාය. – දරුවෝ තුන් දෙනත් එක්ක අපේ පවුලේ සාමාජිකයෝ පස් දෙනයි. අපිට ජීවත් වෙන්න ගෙයක් හදාගන්න මේ ලෝකේ කිසිම බිම් අඟලක් නැහැ. අපි විවාහ වූදා ඉඳලා අවුරුදු හතක් විතර ජීවත් වුණේ නෑදැයින්ගේ ගෙවල්වලයි. ඉන්න තැනක් නැති නිසාම තමයි අන්තිමට මේ පොදු සුසාන භූමියේ තියෙන පුංචි ඉඩ ටිකේ පුංචි පැලක් හදා ගත්තේ.
නිවසට පොල් අතු සෙවිලි කර ඇත. බිත්ති වෙනුවට ඉරිතලා ගිය ඉටි රෙදි කීපයකින් ආවරණයක් යොදා තිබේ. බිමට ගොම මැටි ටිකක්වත් නොමැත. පසුගිය දිනවල ඇද හැළුණ ධාරානිපාත වර්ෂාව නිසා ගෙබිම මඩ ගොහොරුවක් බවට පත්වී ඇති අයුරු දැකීමත් කනගාටුවට කරුණකි.
නිවසේ ඇති එකම අබලන් ඇඳ සියලු අවශ්‍යතා සඳහා භාවිත කරයි. පස් දෙනාම රාත්‍රියට එම කුඩා ඇඳේ ගුලිවී නිදාගනිති. දරුවන්ගේ පාසල් බෑග් ඇත්තේ ඇඳ මතය. ඔවුන්ට පොත්වල අභ්‍යාස වැඩකරන්නට ඇත්තේ එම ඇඳ පමණි.
අපිට ස්ථීර ආදායම් මාර්ගයක් නැහැ. දරුවන්ගේ තාත්තා ලැබෙන කුලී වැඩකට ගිහින් ලැබෙන මුදලකින් තමයි අපි යාන්තමට ජීවිතේ ගැට ගහ ගන්නේ.
අපිට පැලක්වත් හදාගෙන ජීවත් වෙන්න බිම් අඟලක් නැහැ. ඒකයි මේ පොඩි දරුවොත් එක්ක මේ මිනී ගොඩවල් අස්සේ ජීවත් වෙන්නේ. “තක්ෂිලා අමරවංශ පැවසුවාය.
ජීවිතයේ අනන්ත දුක් විඳිමින් ඔවුහු වසර දෙකක පමණ කාලයක් තිස්සේ සුසාන භූමියේ ඉදිකර ගත් පැල්පතේ වැස්සට නොතෙමී ජීවත් වූහ. නමුත් දැන් ඒ සුසාන භූමියේ පුංචි බිම් අඟලද ඔවුන්ට අහිමිවීමට ආසන්න තත්ත්වයක් ඇති වී තිබේ. ඔවුන් පදිංචි සුසාන භූමියේ කොටස අයිතිවන්නේ මහවැලි අධිකාරියටය. හැකි ඉක්මනින් අනවසරයෙන් ඉදිකරගෙන සිටින පැල්පතින් ඉවත්වන ලෙස මහවැලි බලධාරීන් මෙම දරු පවුලට දැනුම් දී තිබේ.
දැන් කරන්නේ කුමක්ද? මෙතෙක් කල් ජීවත් වූ සොහොන් පිටියද අහිමි වන්නට ආසන්නය.
වැඩිමල් දරුවන් දෙදෙනා පාසල් අධ්‍යාපන ය ලබයි. බාල පුතු පෙර පාසල් අධ්‍යාපනය ලබයි. දැනට ජීවත්වෙන තාවකාලික පැල්පතද අහිමි වුණොත් ඔවුන්ගේ හෙට දවස මහා ෙ€දවාචකයක් බවට පත්වනු ඇත.
මේ අසරණ දරු පවුලට ජීවත් වීම සඳහා බිම් අඟලක් ලබා දීම සඳහා සමාජසේවා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. මේ දරු පවුලේ හෙට දවස සැපවත් කරගන්නට උණුවෙන දයාබරිත හදවත් ඇති මිනිසුන්ටද දායකත්වයක් ලබා දිය හැකිය.
ඇතැම් අයට අක්කර දහස් ගණනක ඉඩකඩම් හිමිය. ගෙවල් හත අට තිබේ. බොහෝ නිවාස පදිංචියට කිසිවෙක් නොමැතිව අතහැර දමා පාළුවට ගොස් තිබේ.
එවන් රටක ජීවත් වන්නට බිම් අඟලක් නොමැතිව සොහොන් පිටිවල දුක් විඳින දරු පවුල් ගැන අසන්න දකින්නට ලැබීම කොතරම් සංවේගී ෙ€දවාචකයක්ද?(ඉපලෝගම – ඡේ. බී. ඒකනායක)
Source: Divaina (Sri Lanka)
Image courtesy of Divaina (Sri Lanka)