දිළිඳුකමට-විරැකියාවට සෘජුවම මුහුණ දීමට රජයට පුළුවන් – ජනපති කියයි

ත්‍රස්තවාදය ඉතිහාසයට එක් වූ රටේ, දිළිඳුකම, විරැකියාව සහ දුෂ්කරතාව යන ප්‍රශ්නවලට සෘජුව මුහුණදීමට වත්මන් රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ත්‍රස්තවාදය කියමින් රටේ ප්‍රශ්නවලින් කර ඇරීමට එදා සිටි නායකයන් කටයුතු කළත් වත්මන් රජය එසේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න මඟහැරීමට සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

රට තුළ යහපත් වෙනසක් සිදුවෙමින් පවතින බව පැවසූ ජනාධිපතිවරයා  එම වෙනස දෙස සාධාරණ ඇසකින් බලන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය. කුමන බලපෑම් ආවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු ඩිලාන් චතුරංග අනුස්මරණ තෙමහල් ගොඩනැගිල්ල සහ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමිනි.

විනිල් මැණික් අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ පුත් ඩිලාන් චතුරංග සිහිකරමින් ඒ මහතාගේ පෞද්ගලික ධනයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 300කි. නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රේක්ෂකාගාරය නැරැඹීමට ද එක්විය.

විදුහල වෙනුවෙන් කරන ලද මෙහෙවර අගයා විදුහල්පතිවරයා ඇතුළු ආචාර්යවරුන් හා සිසු සිසුවියන්ගේ උපහාර තිළිණය ජනාධිපතිවරයාගේ අතින් විනිල් මහතා වෙත පිරිනැමිණ. සමස්ථ ලංකා මට්ටමේ දක්ෂතා දැක්වු ගුරුභවතුන්ට සහ සිසු සිසුවියන්ට ද ජනාධිපතිවරයගේ අතින් තිළිණ පිරිනැමිණ.

කුමන බාධා පැමිණියද සංවර්ධිත රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කිසිසේත් අතනොහරින බව අවධාරණය කළ ජනාධිපතිතුමා නැහැ, බැහැ යන වචන අපගේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළ යුතු බව පැවසීය.

මහාසංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂයත් සබරගමුව පළාත් ආණ්ඩුකාර වි. ජ. මු. ලොකුබණ්ඩාර, ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, අමාත්‍යවරුන්වන ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න, පවිත‍්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Source: Dinamina (Sri Lanka)