උසස්‌ පෙළ උසස්‌ම ප්‍රතිපල විෂය ධාරා තුනකින්ම අංක-1 දේවි බාලිකාව

විද්‍යා – ගණිත ප්‍රථම ස්‌ථාන දෙකම වීරකැටිය මැදි විදුහලට

මෙවර උසස්‌ පෙළ විභාගයේ වානිජ, කලා හා පොදු යන විෂයධාරා තුනෙන්ම ප්‍රථම ස්‌ථාන කොළඹ දේවි බාලිකා විද්‍යාලයට හිමිවී තිබේ.

ශේෂාණි ගුණතිලක වානිජ අංශයෙන්ද, උපේක්‍ෂා සෙව්වන්දි හා සමාලි ලියනගේ රත්නායක යන සිසුවියෝ පිළිවෙළින් කලා හා පොදු විෂය ධාරාව යටතේද මෙලෙස ප්‍රථම ස්‌ථානයට පත්ව සිටිති.

වීරකැටිය රාජපක්‍ෂ මධ්‍ය විදුහලේ ආර්. එස්‌. පී. කසුන් ලක්‌මාල් විද්‍යා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයටද එම විදුහලේම රුසිරු ගාම්භීරආරච්චි ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයටද පත්ව සිටිති.

විද්‍යා අංශයේ දෙවැනි ස්‌ථානය ගාල්ල සවුත්ලන්ඩ්ස්‌ විදුහලේ තිසරි ශෂිප්‍රභා අතුකෝරාළ ශිෂ්‍යාවට හිමිවී ඇති අතර එම අංශයේ තෙවැනි ස්‌ථානය කොළඹ රාජකීය විදුහලේ දුෂාන් නිලංක පියරත්න ශිෂ්‍යයාට හිමිවී ඇත.

මාතර රාහුල විදුහලේ තරිඳු නුවන් මල්ලවආරච්චි ශිෂ්‍යයා ගණිත අංශයෙන් දෙවැනි ස්‌ථානය ලබා සිටින අතර පේදුරුතුඩුව හාට්‌ලි විදුහලේ බී. කපිලන් එම අංශයේ තෙවැනි ස්‌ථානයට පත්ව සිටිති.

වානිජ අංශයේ දෙවැනි ස්‌ථානය ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ තිසර මධුශංක සිසුවාද වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස්‌ කන්‍යාරාම විදුහලේ ශකිලා නිලුක්‍ෂි ශිෂ්‍යාව එම අංශයේ තෙවැනි ස්‌ථානයටද පත්ව සිටිති.

කොල්ලුපිටිය මෙතෝදිස්‌ත පාසලේ සජිනි සුලේඛා ප්‍රනාන්දු ශිෂ්‍යාව කලා අංශයේ දෙවැනි ස්‌ථානයටද වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා විදුහලේ සුධීරා ප්‍රසාදිනී රත්නායක සිසුවිය එම අංශයේ තෙවැනි ස්‌ථානයටද පත්ව සිටිති.

Source: Divaina (Sri Lanka)