“ශ්‍රී ලංකාවට එන මානව හිමිකම් සොයන කණ්‌ඩායම්වලට බාධා කරන්නට එපා!” රජය ඉටු කළ යුතු යෝජනා ඇමෙරිකාව හෙළි කරයි

උතුරෙන් හමුදාව ඉවත් කිරීම, සැකකරුවන් රඳවා ගැනීමේ පිළිවෙත නැවත සලකා බැලීම, උතුරු නැගෙනහිරට බලය බෙදීම සහ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු ශක්‌තිමත් කිරීම යන කරුණු ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු බව ඇමරිකාව විසින් මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන නව යෝජනාවේ ඇතුළත් යෑයි ප්‍රථම වතාවට ඊයේ (08 දා) හෙළිදරව් වී තිබේ.

මෙම යෝජනාවේ කරුණු ඊයේ (08 දා) කොටි ඩයස්‌පෝරාව වෙත අනාවරණය වී ඇත. එසේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තාක්‍ෂණික කණ්‌ඩායමකට ශ්‍රී ලංකාවට ඒමට ඉඩ දීම සඳහා රජය සහයවීම ගැන එම යෝජනාවෙන් ප්‍රසාදය පළකර තිබේ.

මේ හැර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව වඩා කාර්යක්‍ෂමව ක්‍රියාකරන ලෙසද ඇමරිකානු යෝජනාවෙන් ඉල්ලා ඇත.

මීට අමතරව වාර්ගික ප්‍රශ්න, අතුරුදන් වූවන් හා අධිකරණයේ ස්‌වාධීනත්වය ඇතුළු කරුණු ගැන නිරීක්‍ෂණය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කණ්‌ඩායම්වලට ශ්‍රී ලංකාවට පැමිණ කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ දිය යුතු යෑයි ද එම යෝජනාවේ දක්‌වා තිබේ.

අන්තර් ජාතික මානුෂික නීතිය ගැන උගත් පාඩම් කොමිසම නිසි අවධානය යොමු නොකිරීම ගැන ඇමරිකානු යෝජනාවෙන් කනගාටුව පළ කර ඇත.(කීර්ති වර්ණකුලසූරිය)

Source: Divaina (Sri Lanka)