ඕනෑම රටක් සදාචාර සම්පන්න වන්නේ එහි සමාජය දියුණුවන විටය. සමාජය පිරිහෙන විට රටක් අවිචාරවත් දේශයක් බවට පත් වේ. වර්තමානයේ අපේ රටේ දකින්නට තිබෙන අපරාධ වැඩි වශයෙන් සිදුවීමේ ප්‍රවණතාව සමාජ පරිහානියක ලක්‍ෂණයක් ලෙස සඳහන් කරන මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ මෙම තත්ත්වයට පසුබිම් වී ඇති හේතු පිළිබඳ කළ විග්‍රහයකි මේ.
අපේ රට පුරා අද විවිධ අපරාධ සිදුවීමේ වර්ධනයක් දකින්නට තිබෙනවා. රටතුළ හදිසියේම මෙවැනි තත්ත්වයක් ඇති වුණේ කොහොමද?
දැන් අවුරුද්දක, හමාරක පමණ කාලයක සිට අපේ රටේ නොයෙක් ආකාරයේ අපරාධ සිදුවීම වේගවත් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. හිතාගන්නවත් බැරි ආකාරයට සිදුකරන මිනීමැරුම්, පුද්ගල අතුරුදන් වීම්, කාන්තාවන්, කුඩා දරුවන් අපචාරයට ලක් කිරීමේ වැඩි වශයෙන් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.
පොලිසියේ සමහරු කියන්නෙ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වේගවත්ව සිදුවන නිසා රටේ අපරාධ වැඩියෙන් සිදුවෙනව වගේ පෙනෙන්නට තිබෙනවා කියලයි. එය පිළිගත හැකි කාරුණක් ලෙස සලකන්න අමාරුයි. ඒ කෙසේ වෙතත් ජනාධිපතිතුමා ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් කරල රටට සාමය ගෙනාවත් ඒ සාමකාමී වාතාවරණයත් සමග ගොඩනැගිය යුතු මිනිසුන්ට බිය සැක නැතිව ජීවත්වීමට උවමනා පරිසරය සකස් වෙමින් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. උතුරු නැගෙනහිර යුද්ධයෙන් මිනිසුන් මියයැම නැවතුණාට රටේ සමහර පළාත්වල භීෂණකාරී පරිසරයක් තිබෙනවා.
තිස් වසරක භීෂණකාරී සමයක් අවසන් කර රටේ ඇති වූ සාමකාමී පරිසරය තුළ මේ ආකාරයට අපරාධ වර්ධනය වීමේ තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු මොනවාද?
මේ ඇතිවී තිබෙන්නේ හේතු ගණනාවක ප්‍රතිඵලයක්. එක කණ්‌ඩායමකට, එක සංවිධානයකට මේ ගැන චෝදනා කරන්න බෑ. සමහරු මේ තත්ත්වයට ආණ්‌ඩුව වගකිව යුතුයි කියනවා. ආණ්‌ඩුවත් වගකියන්න ඕන. නමුත් ඒක එකම හේතුව නෙමෙයි.
අපේ රටේ ඉන්න ආගමික පූජ්‍ය, පූජක පක්‍ෂය ජනතාව මේ අපරාධවලට පෙළඹීමෙන් වළක්‌වා ගැනීම සඳහා නිසි පරිදි අවවාද – අනුශාසනා කරනවාද ? ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් තියෙනවාද? අපේ රට බෞද්ධ ජනතාව වැඩිපුර වෙසෙන රටක්. සෑම උදැසනකම ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකා ආරම්භවන්නේ ආගමික වැඩසටහන්වලින්. දහවල් කාලයෙත් රාත්‍රි කාලයෙත් ධර්ම දේශනා ආදී විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ සියලු නාලිකා අවසන් කරන්නෙත් පිරිත් ආදී දේශනාවලින්. මීට අමතරව රටේ සෑම ප්‍රදේශයකම වාගේ පිච්චමල් පූජාව, නෙළුම්මල් පූජාව, අරලිය මල් පූජාව ආදී වශයෙන් විවිධ පූජාවල් තියෙනවා. දහස් ගණනින් ජනතාව මේවට සම්බන්ධ වෙනවා. සාධු නාද කෙළවරක් නැතිව රටපුරා ඇහෙනවා. මේ හැම එකකින්ම උත්සාහ කරන්නෙ මිනිසුන් සදාචාරවත් පිරිසක් කරන්නයි. එයත් හරිහැටි සිදු වී නැතැයි කියන චෝදනාව එක ආගමකට පමණක් එල්ල කරන්න බෑ. ඒ නිසා ආගමික සංවිධානවල දුර්වල කමක් නිසා අපේ රටේ මෙබඳු තත්ත්වයක් ඇති වුණා කියල චෝදනා කරන්න බැහැ.
මේ තත්ත්වයට අපේ රටේ වර්තමාන අධ්‍යාපනය හේතුවක් බව සමහරු චෝදනා කරනවා. විභාග මූලික කරගත් මේ අධ්‍යාපනයෙන් දරුවන්ගේ සදාචාරවත් පැවැත්මට කිසිදු අනුබලයක් නැහැ කියල කරන චෝදනාව තනිකරම මේ තත්ත්වයට හේතුවක් කියල කියන්න බැහැ.
මේ සියල්ල සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි කරුණු වුවත් අද සමාජය දෙස බලන විට සමාජයේ වැඩි දෙනා විශාල පීඩනයකින් සිටින බව පැහැදිලිව පෙනෙන දෙයක්. රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙනවා කියන අදහසක් වැඩි දෙනා තුළ තිබෙනවා. ඕනෑම අපරාධයක් කරල ගැලවෙන්න පුළුවන් කියල හිතන පිරිසකුත් අද රටේ ඉන්නව. විනිශ්චයකාරවරුන්ට පවා තර්ජන එල්ල කිරීම් වැනි සිදුවීම්වලින් පෙනෙන්නේ එයයි. දේශපාලකයන් වැනි රටේ වගකිව යුතු අයත් මෙවැනි දේවල්වලට මැදිහත්වෙනවා නම් එය බරපතළ කාරණයක්. යුක්‌තිය පසිඳලන ආයතනය වන අධිකරණයටත් මෙබඳු තර්ජන එල්ල වන විට ජනතාව තුළ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඕනෑම දෙයක් කරල නීතියෙන් ගැලවෙන්න පුළුවන් කියල අද සමාජය තුළ ඇතිවෙලා තියෙන මතය අපරාධ වැඩිවීමට හේතුවක්.
රටේ සිදුවන අපරාධ පිළිබඳ පරීක්‍ෂණ වේගවත් කර තිබෙන බව පොලිසිය කිව්වත් ප්‍රසිද්ධියේ සිදුවූ ඇතැම් අපරාධ සම්බන්ධව පවා ඇතැම් අවස්‌ථාවල පරීක්‍ෂණ නිසි ආකාරව සිදුවෙන්නෙ නෑ. මෙය අපේ රටේ සමහර අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ ලැබීම නිසා ඇති වී තිබෙන තත්ත්වයක්. සමහර දේශපාලනඥයන් රටේ නමගිය අපරාධකරුවන් සමග පවත්වන සම්බන්ධතා ජනතාවගේ අප්‍රසාදයට ලක්‌වෙලා තියෙනවා. අපරාධවලට සෘජුවම සම්බන්ධ වෙන දේශපාලකයන් ගණනත් වැඩි වෙන බව පෙනෙනවා. කොහොමත් දැන් අපේ රටේ දේශපාලකයන් වැඩියි.
අද ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු ආදී වශයෙන් මන්ත්‍රීවරු දුසිම් ගණන් ඉන්නවා. ඒ අය ඒ අයට ලැබෙන වරප්‍රසාද සහ පහසුකම් තරමට රටට වැඩක් කරනවද කියල අද ජනතාව ප්‍රශ්න කරනව. මේ සමහර දේශපාලකයෝ ඇසුරු කරන්නෙ රටේ නමගිය අපරාධකාරයො. ඒ අපරාධකාරයෝ රැකගන්න මේ සමහර දේශපාලකයෝ කටයුතු කරනවා.
දකුණෙ ඔය අමරෙ කියන මනුස්‌සය ප්‍රසිද්ධියෙ කරපු අපරාදෙකට අත්අඩංගුවට ගන්නකම් එයා ඒ පළාතෙ දේශපාලකයන්ගෙ අනුග්‍රාහකයෙන් කියල කවුරුත් දන්නව. ඒ මිනිහ ප්‍රසිද්ධියෙ කරපු අපරාධ ගැනවත් පොලිසිය පැමිණිල්ලක් වත් භාරගත්තෙ නැති තත්ත්වයක් තිබිල තියෙනව. එහෙම තත්ත්වයක් තියෙන කොට ඕනෑම විදිහෙ අපරාධයක් කරන්න පුළුවන්.
අද සමහර දේශපාලකයෝ ඒ තනතුරු දරමින්ම ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීමේ කටයුතුත් කරනව. ඔවුන් අත්අඩංගුවට පත් වුණාට පස්‌සෙත් පොලිසියෙ හෝ සිරමැදිරියෙ සිට පළාත් සභාව හෝ ප්‍රාදේශීය සභාව මෙහෙයවනවා. මේක අසෝබන තත්ත්වයක් නේද?
යම් කිසි දේශපාලකයෙක් අපරාධයක් සම්බන්ධයෙන් චූදිතයෙක් වුණොත් ඒ පුද්ගලයා ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ හෝ පාර්ලිමේන්තුවේ දරන ධුරය ඔහු නිර්දොaෂී පුද්ගලයෙක් ලෙස ඔප්පු කරන තෙක් අත්හිටුවන්නට ඕනෑ. බටහිර නීතියේ හැටියට නම් කෙනෙක් අපරාධයක් කළත් නීතියෙන් ඔහු වැරදිකරුවකු වන තෙක් සලකන්නේ නිවැරදිකරුවෙක් ලෙසයි. නමුත් අපේ රටේ මේ සිදුවන දේවල් දෙස බලනවිට ඒ නීතිය දැන් අපේ රටට ගැළපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. මන්ත්‍රීවරයෙක් වුවත් ඊටත් ඉහළ දේශපාලකයෙක් වුවත් රජයේ කවර උසස් නිලධාරියෙක් වුවත් වරදක් කළ බවට චෝදනාවක් ලැබුවොත් ඔහු හෝ ඇය තම නිර්දෝෂිභාවය ඔප්පු කරන තෙක් ඔවුන් දරන නිලය අත්හිටුවන්නට ඕන.
පසුගියදා මෙවැනි පූර්වාදර්ශයක් අපේ අස්‌ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් ලබාදුන්නා. දකුණේ අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූ භික්‍ෂූන් වහන්සේ නමක් දැරූ නිලතල සහ නිකාය සාමාජිකත්වය තහනම් කළා. දේශපාලකයන් කරන අපරාධ නතර කරන්න නම් ඉහළම තැනින් ආදර්ශයක් දෙන්න ඕන. දේශපාලකයන් ආදර්ශමත් පුද්ගලයන් නොවී රටක් හදන්න බෑ. දේශපාලකයන්ට නීතිය අතට ගන්න අයිතියක් නෑ. සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ නීතිය අතට අරගෙන කටයුතු කරනව. දේශපාලකයෙක් සමාජයට දිය යුතු ආදර්ශ තියෙනව. දේශපාලකයෙක් මනුස්‌සයෙක්‌ව ගස් බඳිනව නම් ඒක දේශපාලකයෙක් සමාජයට දිය යුතු ආදර්ශයක් නෙමෙයි. ඇමැතිවරු කියන්නෙ පොලිසියට ගිහින් නියෝග නිකුත් කරන පිරිසක් නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරන්න වෙනම ආයතන තියෙනව. ඒ ඒ ආයතනවලට අයිති රාජකාරි තමුන් පවරගන්නෙ නැතිව දේශපාලකයන් ජනතාවට ආදර්ශමත්ව කටයුතු කරන විටයි රටක් දියුණු වෙන්නෙ.
අපේ රටේ අද අපරාධ වැඩිවෙන්න තවත් හේතුවක් වෙලා තියෙන්නෙ මේ විවෘත ආර්ථිකය. මේ නිසා අපේ රටට අවශ්‍ය – අනවශ්‍ය හැම දෙයක්‌ම ගලාගෙන එනව. මිනිස්‌සුන්ට මේ වෙළෙඳපොළ ආර්ථිකය හරහා එන දේවල් ලබාගන්න වත්කමක් නෑ. නමුත් මොන දෙයක් හරි කරල මේවා ලබා ගැනීමේ විශාල උවමනාවක් අද බොහෝ දෙනා තුළ තියෙනව. මාධ්‍ය හරහා වෙනත් නොයෙක් වෙළෙඳ ක්‍රියාදාමයන් හරහා මේවා නැත්නම් ජීවත්වෙලා වැඩක් නෑ කියන තැනට ජනතාව ගෙනැල්ල තියෙනවා.
අනිත් කාරණය අද මේ සිදුවන අපරාධ ගැන ජනමාධ්‍ය හරහා දෙන පුළුල් ප්‍රචාරයත් හොඳ නෑ. මම කියන්නෙ රටේ සිදුවන අපරාධ වාර්තා කරන්න එපා කියල නෙමෙයි. නමුත් මිනිස්‌සු කරන නරක වැඩ ගැන දෙන ප්‍රසිද්ධිය මිනිස්‌සු කරන හොඳ වැඩවලට ජනමාධ්‍යයෙන් ලැබෙන්නෙ නෑ. රටේ හොඳින් ජීවත් වෙන මිනිස්‌සු ගැන ජනමාධ්‍යවල පළවෙන්නෙ නෑ. නමුත් අපරාධයක් ගැන එහි ආරම්භයේ ඉඳන් අවසානය තෙක් චිත්‍රයක් වගේ පෙනෙන විදිහට ලියනව. රඟපාල පෙන්වනව. මේක කියවන, බලන කෙනාට හිතෙනව මටත් මෙහෙම දෙයක් කරන්න බැරිද කියල. විද්යුත් මාධ්‍ය හරහා අද පෙන්වන ඇතැම් දේවල් දිහා බලන විට කාම අපරාධ කරන්න යම් පෙළඹීමක් ඒවා තුළින් ඇති වෙන්න පුළුවන්. මම කියන්නෙ හැම වෙලාවෙම විද්යුත් මාධ්‍ය තුළින් බණ කියන්න නෙමෙයි. නමුත් මේ ඇතැම් මාධ්‍ය පෙන්වන වැඩසටහන්වල කිසිම ප්‍රමිතියක් නෑ. ප්‍රචණ්‌ඩත්වයට, ලිංගිකත්වයට මුල් තැන දෙන ඇතැම් රූපවාහිනි වැඩසටහනුත් රටේ අද මේ තත්ත්වයට යම් ආකාරයකට වග කියන්න ඕන.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
Source: Divaina(Sri Lanka)