Home » News »

ජේ.ආර්ගේ කතුරෙන් රනිල් සජිත්ව කපා දමයිද!

 

මෙරට දේශපාලන පක්‍ෂ ක්‍රමය ආරම්භයේ සිට මේ දක්‌වා පක්‍ෂ අභ්‍යන්තරයේ වරින්වර හටගත් අර්බුදවලින් ඇතැම් පක්‍ෂ දියවීගොස්‌ ඇත. තවත් සමහර පක්‍ෂ ඒ අර්බුද නිරාකරණය කර ගැනීමේ සටනක නිරතව ඇත.

ඕනෑම දේශපාලන පක්‍ෂයක අරමුණ ආණ්‌ඩුබලය ලබාගැනීමයි. ඒ සඳහා සිය පක්‍ෂ මෙහෙය වීමයි. ඒ ගමනේ දී පක්‍ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිර බලවේග වලින් විවිධ අභියෝග එල්ලවිය හැක. රටේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට අද එවැනි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

බාහිරින් එල්ලවන අභියෝග ජය ගැනීම ඔවුන්ට එතරම් අපහසු කාර්යයක්‌ නොවිය හැක. එහෙත් පක්‍ෂය අභ්‍යන්තරයෙන් එල්ලවී තිබෙන අභියෝග හා අර්බුද ජය ගැනීම එතරම් පහසු කාර්යයක්‌ නොවන බව එ.ජා.ප. ගමන්මග දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන්නකි.

මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක එක්‌සත් ජාතික පක්‍ෂය ආරම්භකර ටික කලක්‌ ගතවන විට එහි අභ්‍යන්තර අර්බුදයක්‌ නිර්මාණය විය. එතැන් සිට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ දක්‌වා සෑම නායකයෙක්‌ යටතේම ඒ අභ්‍යන්තර අර්බුද අඩුවැඩි වශයෙන් මතු විය.

මේ සෑම අවස්‌ථාවක දීම දැඩි තීන්දු තීරණ ගැනීමට ඒ ඒ කාලවල සිටි පක්‍ෂ නායකයන්ට සිදුවිය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන නම් වූ නායකයා කැරලිකරුවන්ට අමතක නොවන පාඩමක්‌ ඉගැන්නුවේය. එක්‌සත් ජාතික පක්‍ෂයේ පතාකයින් ලෙස හැඳින් වූ රුක්‌මන් සේනානායක, නියතපාල, සූරියප්පෙරුම වැනි ප්‍රබලයන් පක්‍ෂයෙන් නෙරපා හැර නව වැඩපිළිවෙළකින්, නව සැලැසුමකින් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යැමේ ගමන ආරම්භ කළේය.

එදා ජේ. ආර්. ආරම්භ කළ ඒ ගමනේ ප්‍රතිඵලය වූයේ, ජනාධිපති ධුරය සමඟ 5/6 ක පාර්ලිමේන්තු බලයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ලබා ගැනීමය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේත් පක්‍ෂය අභ්‍යන්තරයේ විවිධ අර්බුද නිර්මාණය වන්නට විය. ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර වැනි නායකයෝ පක්‍ෂය හැරගොස්‌ විකල්ප පක්‍ෂ පිහිටුවා ගත්හ. ඒ සියලු අභියෝග හමුවේ ප්‍රේමදාස ළඟින්ම සිටිමින් පසුපෙළ නායකයකුගෙන් විය යුතු යුතුකම් හා වගකීම් රනිල් වික්‍රමසිංහ විසින් ඉටුකරනු ලැබීය.

අතීතයේ සිට පක්‍ෂය හා නායකයන් සමඟ විශ්වාසයෙන් කටයුතු කරමින් පැමිණි ගමන් මගේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකිවිය. ඒ 1994 දී පක්‍ෂ නායකත්වයට පත්වීමය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ අභියෝගාත්මක යුගය 1994 න් ආරම්භ විය, එතෙක්‌ කිසිදු නායකයකුට මුහුණ දීමට සිදු නොවූ අභියෝග රැසකට නව නායකයාට මුහුණ දීමට සිදුවිය. ක්‍රියාකාරීන් කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කර පාක්‍ෂිකයන් බුරුතුපිටින් පක්‍ෂය හැරගොස්‌ නැවත ජයග්‍රහණයක්‌ ගැන හිතාගැනීමට වත් නොහැකි මොහොතක රනිල්ට පක්‍ෂ නායකත්වය භාර ගැනීමට සිදුවිය.

එතැන් සිට පක්‍ෂය අභ්‍යන්තරයේ හා බාහිරව පැමිණි අභියෝග රැසකට රනිල්ට මුහුණදීමට සිදුවිය. ඔහු හැර වෙනත් නායකයකුට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවූයේ නම් ඔහු මේ වනවිට නායකත්වය හැරගොස්‌ය. එසේත් නැත්නම් පක්‍ෂය තවත් පක්‍ෂයකට අලෙවිකර ඇත. එහෙමත් නැත්නම් පක්‍ෂය මුළුමනින්ම දියකර හැර ඇත.

1994 වනවිට එක්‌සත් ජාතික පක්‍ෂය හැරගිය සියලු බලවේග හා නවක සාමාජිකයන් පක්‍ෂයට එක්‌කර ගනිමින් නව ගමනක්‌ රනිල්ගේ නායකත්වය යටතේ ආරම්භ කළත් පක්‍ෂයේම ඇතැම් පාර්ශ්ව ඊට සහයෝගය දක්‌වනවා වෙනුවට කකුලෙන් ඇදීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය දිනෙන් දින ආපස්‌සට තල්ලු විය.

පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීම පසෙක තබා ඇතැම් කණ්‌ඩායම් තනතුරු බලාපොරොත්තුව තනතුරු ලබාගැනීමේ සීතල යුද්ධයක නිරත වූහ. ඒ සීතල යුද්ධය ගෙන යන අතර තුර ඔවුන් විසින්ම රනිල් සිටින තෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කළ නොහැකිය යන මතය මතුරන්ට වූහ.

එමෙන්ම රනිල් නිසා එ.ජා.ප. මන්ත්‍රිවරු 61 දෙනෙක්‌ ආණ්‌ඩුවට ගිය බවත් එමගින් මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ශක්‌තිමත් වූ බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමඟ මන්ත්‍රීවරු 17 දෙනෙක්‌ මෙන්ම ගෙවීගිsය කාල පරිච්ජේදය පුරාවට මන්ත්‍රීවරු 61 දෙනෙක්‌ පක්‍ෂය හැරගොස්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වූයේ රනිල් නිසා බව කියනවා නම් එය ඔහුට කරන බලවත් අසාධාරණයකි. පක්‍ෂ මාරු පනත සම්මත කර ගැනීම හරහා අධිකරණය ලබා දුන් තීන්දු තීරණ මෙන්ම මන්ත්‍රීවරුන්ගේ බලලෝභීත්වය හා වරදාන වරප්‍රසාදවලට ඇති ගිජුකම විධායකයේ බලපෑම ඊට පාදක වී ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධී මන්ත්‍රී කණ්‌ඩායම මේ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන සිටියදී පාක්‍ෂිකයන් හා ජනතාව හමුවේ එය නිවැරැදි කිරීමට ඔවුන් ක්‍රියා කරන්නේ නැත. එදා මංගල සමරවීර ආණ්‌ඩුෙවි සිටි සමයේ රනිල්ට බෑ කියමින් ජනතාව මුලාකළා සේම මේ මන්ත්‍රී කණ්‌ඩායම ද එය මන්තරයක්‌ මෙන් ජපකරමින් සිටිති.

මේ වනවිට එක්‌සත් ජාතික පක්‍ෂයේ ශාඛා සමිතියේ සිට නිලතල දරන සියල්ලටමත්, සෑම මහජන නියෝජිතයන්ටත් වගකීම් පවරා දී ඇත. බොහෝ පිරිසක්‌ ඒ වගකීම් නිසි පරිදි ඉටුකරමින් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යැමට කැපවෙති. එහෙත් රනිල් විරෝධී කණ්‌ඩායම මාධ්‍ය සංදර්ශන පවත්වමින් අහිංසක පාක්‍ෂිකයන් මුලා කිරීමේ, ඔවුන් උසිගැන්වීමේ ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කරති.

මේ පිරිස ආණ්‌ඩුවට එරෙහිව සිය ශක්‌තිය යොදවා පක්‍ෂය ගොඩනැගීම සඳහා කාලය ශ්‍රමය වැයකරනවා වෙනුවට ඔවුන් ආණ්‌ඩුවේ අරමුණ ඉටුකර දීම වෙනුවෙන් තම නායකයා පන්නා දැමීමට ක්‍රියාකිරීම තුළින් සිදුවන්නේ වත්මන් පාලනයේ ආයුකාලය තවත් වැඩිකර දීමය.

එක්‌සත් ජාතික පක්‍ෂ නායකයා ඔවුන් කියන පරිදි වැරැදි නම් පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව ක්‍රියාකරමින් ඔහු ඉවත් කළ යුතුයි. එවැන්නක්‌ නොකර සජිත් ප්‍රේමදාස මහතා නායකයා කළයුතු බව කියමින් වසර ගණනක්‌ තිස්‌සේ පක්‍ෂය ආපස්‌සට ගෙන යමින් පක්‍ෂයට වින කිරීම පාක්‍ෂිකයන්ගේ පිළිකුලට ලක්‌ව ඇත.

රනිල් විරෝධී කණ්‌ඩායම සජිත් නායකයා කළ යුතු බව ප්‍රකාශ කරනවා සේම පක්‍ෂ ක්‍රියාකාරීන්ගෙන් බහුතරයක්‌ එක හඬින් කියා සිටින්නේ පළපුරුද්ද, පරිණත බව මෙන්ම ලොව පිළිගත් පක්‍ෂ නායකයෙක්‌ සිටීම එක්‌සත් ජාතික පක්‍ෂයේ වාසනාවක්‌ බවයි.

සජිත් ප්‍රේමදාස එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්වීම සම්බන්ධව කිසිදු අභියෝගයක්‌ හෝ ගැටලුවක්‌ නැත. ඔහුටද ජනතා පිළිගැනීමක්‌ තිබේ. නමුත් ගෙවීගිය කාලය පුරාවට ඔහු ඒ නායකත්වයට පත්වීමේ සුදුසුකම් පෙන්නුම් කර නැත.

වසර ගණනාවක්‌ තිස්‌සේ ඔහු පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව පක්‍ෂයේ නායකයා වීමය. එය අපහසු කාර්යයක්‌ නොවන බව ඔහු දැන සිටියදී, කිසියම් පාර්ශ්වයක්‌ විසින් ඔහුගේම හිතවාදින් යෑයි කියා ගන්නා කණ්‌ඩායමක්‌ විසින් ඔහුව වැරැදි මාවතක ගමන්කරවා ඇති බව ගෙවී ගිය වසර කීපය දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලිය. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්වූ සෑම පුද්ගලයෙක්‌ම ඉවසීමෙන්, දුරදිග බලා නායකත්වය හා පක්‍ෂය සමඟ බැඳීමකින් ක්‍රියාකර ඇත.

සජිත් ප්‍රේමදාස ද අද ක්‍රියාකළ යුත්තේ මමත්වයෙන් මිදී නායකත්වය හා පක්‍ෂයේ පොදු ප්‍රතිපත්ති පිළිගනිමින් ක්‍රියා කිරීමය. පසුගිය කාලය පුරාවට ඔහු ජනතාව සමඟ සිටියත් ඒ හැම තැනකම ඉස්‌මතු කළේ සිය පියාණන් ගෙන ගිය ප්‍රතිපත්තිය. ඒ ගැන කතා කිරීමට ඔහුට පූර්ණ අයිතියක්‌ ඇත. එහෙත් වත්මන් නායකත්වය හා ප්‍රතිපත්තිවලට පයින් ගසා ඒවා ගණන් නොගෙන ක්‍රියා කිරීමට හැකියාවක්‌ නැත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉදිරි ගමන් මග හා වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡා කොට තීන්දු තිරණවලට එළඹීම සඳහා වන කාත්‍යාධිකාරි මණ්‌ඩලයේ තීරණාත්මක සාකච්ඡාවක්‌ පසුගිය සතියේ පැවැත්විණි.

නිලධාරි මණ්‌ඩලය සහ පක්‍ෂයේ සංවිධාන ජාලයේ අනෙකුත් නිලතල පත්කළ ද නියෝජ්‍ය නායක ධුරය හෙබ වූ සජිත් ප්‍රේමදාස මහතා නැවත එම ධුරයට පත්කරනවාද නැද්ද යන්න සම්බන්ධව එහි දී තීරණයක්‌ ගැනීමට නොහැකි වූයේ ඊට පක්‍ෂ නායකත්වයේ අනුමැතිය හිමි නොවූ නිසාය.

එක්‌සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායක ධුර දෙකක්‌ තිබූ අතර ඉන් එකක්‌ සජිත් ප්‍රේමදාස මහතාටත් අනෙක කරු ජයසූරිය මහතාටත් ලබාදී තිබිණි. ජයසූරිය මහතා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ එය පුරප්පාඩු විය. එම ධුරය කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබාදිය යුතු බවට පක්‍ෂය වෙත යෝජනා වී තිබේ.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප. අවසරයකින් තොරව දෙමළ සන්ධානයෙන් කාලය ලබාගෙන විවාදයට එක්‌වීම පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීම ඇතුළු කරුණු කාරණා කිහිපයක්‌ නිසා ඔහුට නියෝජ්‍ය නායක ධුරය ලබාදීම සම්බන්ධව අවසන් තීරණයක්‌ නොගත්තද මතුව ඇති කරුණු කිහිපයක්‌ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ ගැන තීන්දුවක්‌ ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව නියෝජ්‍ය නායක ධුර සඳහා පුද්ගලයන් පත්කිරීම තවදුරටත් ප්‍රමාද වන තත්ත්වයක්‌ උද්ගතව ඇත.

පක්‍ෂයේ තනතුරු පත්කර ගැනීමට අමතරව සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් යටතේ 2013 වසරේදී සාමාජිකයන් විසිලක්‍ෂයක්‌ බඳවා ගැනීමත්, සංවිධායකවරුන්ට සිය ඉලක්‌ක සපුරා ගැනීම සඳහා ක්‍රියාකළ යුතු බවටත්, දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්‌ථාන දස දහස අධීක්‍ෂණය වන පරිදි සාමාජිකයන් ලක්‍ෂයක්‌ බඳවා ගතයුතු බවත්, එක්‌සත් ජාතික පක්‍ෂයේ සංවිධායක ව්‍යqහය නව වැඩපිළිවෙළක්‌ යටතේ ක්‍රියාත්මක කිරීමටත් කාත්‍යාධිකාරි මණ්‌ඩලයේ අනුමැති හිමිවිය.

පක්‍ෂයේ උන්නතිය සඳහා මේ වසරේ සිට ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගණනාවකට අනුමැතිය පළකළ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ඉදිරියේදී පැවැත්වෙන වයඹ, මධ්‍යම පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සඳහා සැලැසුම් සකස්‌කිරීමේ කණ්‌ඩායම් ද පත්කර ගනු ලැබීය.

මේ අනුව රනිල් හඳුන්වාදුන් රැඩිකල් ප්‍රතිපත්ති තුළින් අපේක්‍ෂිත ඒ වෙනස ඇතිකිරීම සඳහා පක්‍ෂයේ සියලු දෙනා එකාමෙන් කැපවී ක්‍රියාකළ යුතු කාලය දැන් එළඹ ඇත.

පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට අනුව යම් නිලධාරියෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ කටයුතු නොකරනවා නම් තවදුරටත් කල් නොමරා ඔහු හෝ ඇය වෙනුවෙන් දැඩි පියවර ගැනීමට දැන්වත් නායකත්වය ක්‍රියා කළ යුතුය. එසේ නොමැතිව තවදුරටත් පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදය අළුයට ගින්දර මෙන් සඟවාගෙන ඉදිරියට ගෙන ගියොත් පාක්‍ෂිකයන් අපේක්‍ෂා කරන එ.ජා.ප. ආණ්‌ඩුව බිහිකර ගැනීම සිහිනයක්‌ වනු ඇත.

පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තු සුන් නොකර නායකත්වයේ සිට පක්‍ෂයේ සියලු දෙනා එකමුතුව ක්‍රියාකළ යුතුය. ඒ ගමනේ දී යම් අයෙක්‌ කකුලෙන් අදිනවා නම් එදා ජේ. ආර්. ගත් පියවර රනිල් ගත්තොත් කිසිවෙක්‌ ඔහුට දොස්‌ නොකියනු ඇත.

* පියසේන දිසානායක
Source: Divaina (Sri Lanka)